Home » නිදා සිටි කතගේ අත කපා මුදු – මාල කොල්ලකෑ උඩුවන මැක්කා අත්අඩංගුවට

නිදා සිටි කතගේ අත කපා මුදු – මාල කොල්ලකෑ උඩුවන මැක්කා අත්අඩංගුවට

by sachintha
January 29, 2024 12:01 am 0 comment

කහතුඩුව, මාගම්මන මුණසිංහගම නිවසකට ඇතුළු වී, නිදා සිටි කාන්තාවකගේ අත කපා පැලඳ සිටි රන් මුදු 2ක් සහ රන් මාලයක් කොල්ලකා පලා ගිය ‘උඩුවන මැක්කා’ අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත දකුණු දිසාව අපරාධ කොට්ඨාසය පවසයි.

සැකකරු කොල්ලකෑ දේපළ හෝමාගම හා කැස්බෑව ප්‍රදේශවලට විකුණා තිබියදී පොලිසිය මඟින් සොයාගෙන ඇත. පසුගිය 4 දා අලුයම 4.45ට නිවසේ නාන කාමරයේ සුළං කවුළුවෙන් නිවසට ඇතුළු වී මෙම කොල්ලය සිදු කර තිබේ. සැකකරු නි‍ෙවසට ඇතුළු වූ අවස්ථාවේ නිවෙස් හිමි 62 හැවිරිදි කාන්තාව සහ ඇයගේ නැඟණිය සිට ඇති අතර, ඔවුන් නින්දේ පසු වී ඇති බව පොලිසිය කියයි. සැකකරු නි‍ෙවසට ඇතුළු වීමත් සමඟම නිදා සිටි නිවෙස් හිමි කාන්තාව අවදි වී ඇති අතර සැකකරු ඇයගේ වම් අත කපා පැලඳ සිටි මුදු දෙක සහ රන් මාලය කොල්ලකා පලා ගොස් තිබිණි.

පො.කො (76495) ක්‍රිෂාන්ත මහතාට සැකකරු සම්බන්ධයෙන් අනාවරණය වූ තොරතුරු අනුව උඩුවන හන්දියේදී සැකකරු අත්අඩංගුවට ගෙන ඇත. සැකකරු තදින් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවකි. ඊයේ (28) සැකකරු කැස්බෑව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.

බස්නාහිර පළාත් දකුණු දිසාව අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂ, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ලලිත් අබේසේකර සහ ස්ථානාධිපති, පොලිස් පරීක්ෂක සුමිත් ජයසිංහ මහත්වරුන්ගේ උපදෙස් පරිදි, පොලිස් පරීක්ෂක හේමන්ත කුමාර, උප පොලිස් පරීක්ෂක අනුර, පො.සැ (79471) තෙන්නකෝන්, පො.කොස්තාපල්වරුන් වන (76495) ක්‍රිෂාන්ත, (82111) කුමාර, (104888) ශාලිත, (35145) උමේෂ් යන මහත්වරු පරීක්ෂණ පවත්වති.

බණ්ඩාරගම – බිමල් ජයසිංහ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT