ලෝකයත් සමඟ රට ඉදිරියට ගෙන යෑමට අවශ්‍යයි නම්, ඊට අවශ්‍ය අණපනත් සම්මත කරගත යුතු බව එක්සත් ජාතික පක්ෂ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පැවසීය.
පෙරේදා (27) කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.
එහිදී අබේවර්ධන මහතා මෙසේ ද කීය.
“පාර්ලිමේන්තු සැසිවාරය අවසන් කිරීම ගැන ඇතැම් දේශපාලන නායකයන් විවිධ කතා කියනවා. ඒ නිසා මම හිතුවා ඒ ගැන ජනතාව දැනුවත් විය යුතුයි කියලා. 2024 වර්ෂය සඳහා පෙබරවාරි 07 ආරම්භ කිරීමට පාර්ලිමේන්තුවේ සැසිවාරය අවසන් කරලා තියෙනවා. ඒක වැදගත්. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ අනෙකුත් මූල්‍ය ආයතන සමඟ දීර්ඝ කාලීනව පසුගිය වර්ෂයකුත් මාස 7ක් 8ක් තුළ කළ සාකච්ඡා මාර්ගයෙන් ඇති වූ ආර්ථික වෙනස්කම් සහ අවසාන ඉලක්කයන් ජයගෙන තිබෙන නිසා ඒ සම්බන්ධයෙන් ජාතික ප්‍රතිපත්ති රාමුව පිළිබඳ පාර්ලිමේන්තුව නැවත සිහි කැඳවිය යුතුව තිබෙනවා.
“ඒ වගේම අය වැය කාර්යාලය ඇතුළු අනෙක් කාර්යාල පිළිබඳ ක්‍රියාවලියත් 2024 වර්ෂයේ ප්‍රකෘතිමත් කළ යුතුව තිබෙනවා. ඒ සඳහා ජනාධිපතිවරයා නව පාර්ලිමේන්තු සැසිවාරයක් ඇමතීම සහ ජාතික ප්‍රතිපත්ති රාමුව පැහැදිලි කිරීම කළ යුතුයි.”
මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්න සහ අබේවර්ධන මහතා දුන් පිළිතුරු මෙසේය.
ප්‍රශ්නය – විපක්ෂය කියනවා මාර්ගගත සුරක්ෂිතභාව පිළිබඳ පනත නිසා ඩිජිටල් ආර්ථිකය අහිමි වෙනවලු. එය සත්‍යයක්ද?
පිළිතුර – ලෝකයේ රටවල් 137ක මේ පනත ක්‍රියාත්මක වෙනවා. එතකොට ඒ රටවල ඒ ආර්ථිකය විනාශ වෙලා තිබෙනවාද? මේවා මේ දේශපාලනයට ගාව ගන්න එපා. මේක බොහෝම කනගාටුදායකයි. ශ්‍රී ලාංකික ශිෂ්ටාචාරයක් බලාපොරොත්තු වෙනවා නම් මේ දේවල් ක්‍රියාත්මක විය යුතුයි.
සමාජ මාධ්‍ය ජාල නීති රීති නොතිබුණු නිසා සියදිවි හානි කර ගත්ත ජීවිත ප්‍රමාණය කොපමණද? අන්න ඒවා වෙනම ගණන් කරලා සමාජගත කළ යුතුව තිබෙනවා. ලෝකයේ රටවල් 194න් රටවල් 137ක තිබෙන නීති රීති නොවේ අප ගෙනල්ලා තිබෙන්නේ. ඊට වඩා බොහොම ලිහිල් නීති රීති. තව ලෝකයේ අනිත් දියුණු වුණු රටවල ආකාරයට ක්‍රියාත්මක කරන්න තිබෙනවා.
ප්‍රශ්නය – ශ්‍රේෂ්ඨාධිකරණ සංශෝධන මේකට ඇතුළත් කළේ නැහැ කියනවා.
පිළිතුර – ශ්‍රේෂ්ඨාධිකරණය දීලා තිබෙන සංශෝධන ඇතුළත් කරනවා. අනවශ්‍ය දේ ඇතුළත් නොකර හරින්න පුළුවන්. හැබැයි ශ්‍රේෂ්ඨාධිකරණය දීපු යම් යම් ඡේදවල වෙනස්කම්වලට පරිබාහිරව යමක් සිදු වන්නෙ නැහැ.
ප්‍රශ්නය – මේ පනතින් ජනතාවගේ කට වැසීමක් ද සිදු වන්නේ?
පිළිතුර – ලෝකයේ 137ක් රටවල මහජනතාවගේ කටවල් වහලද? නෑනේ, එච්චරයි හිතාගන්න තියෙන්නෙ.
ප්‍රශ්නය – මේ සඳහා කොමිසමක් පත් කරනවද? ඒ කොමිසටම ඕන විදියට වැඩ කටයුතු වෙනවද මේ පනතෙන්?
පිළිතුර – ලෝකයේ අනෙක් රටවලත් මේ සඳහා කොමිසම් පත් කර තියෙනවා. සිංගප්පූරුවේ තරම් බරපතළ එකක් නොවේ ශ්‍රී ලංකාවේ ගෙනල්ලා තියෙන්නේ. සිංගප්පූරුවේ සමහර වැරදිවලට ඩොලර් මිලියන 1ක් වෙනකල් දඩ නියම කරන්න පුළුවන්.
බ්‍රිතාන්‍ය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව, ඉන්දියාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව, ආසියාවේ රටවල ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවලට අනුකූලව බොහොම ලිහිල් ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයක් මේ පනත හරහා ඉදිරිපත් කරලා තියෙන්නෙ.
ප්‍රශ්නය – දැන් මේ කෙටි කාලයක් තුළ ලංකාවේ ප්‍රගතිය සම්බන්ධයෙන් ලෝක නායකයන් පුදුමයට පත්වෙලා තියෙන බව කියනවා.
පිළිතුර – ඔව්, මං හිතනවා ශ්‍රී ලාංකික මහජනතාවට සම්පතක් ඉතුරු වෙලා තිබෙනවා. ඒ තමයි වසර 60ක පළපුරුද්දක් තියෙන ආසියාවෙත් ලෝකයෙත් සිටින බලසම්පන්න දේශපාලන නායකයෙක් අපේ රටේ ඉතුරු වෙලා ඉන්න එක.
ඒ නිසා එතුමාගේ දැනුම, පළපුරුද්ද අත්දැකීම, ශ්‍රී ලාංකික සමස්ත මහජනතාවට ප්‍රයෝජනයක් වෙන ආකරයට හසුරවමින් තිබෙනවා. එයට සමස්ත ශ්‍රී ලාංකික මහජනතාව සහයෝගය ලබා දිය යුතුව තිබෙනවා. දේශපාලන පක්ෂ දියුණු කර ගැනීම පසුව කළ යුතුයි. රට දියුණු කර ගැනීම ප්‍රථමයෙන් කළ යුතුයි.
ප්‍රශ්නය – විදේශීය රාජ්‍ය නායකයෝ ජනාධිපතිතුමා ගැන ලොකු තක්සේරුවක් තියාගෙන ඉන්නවා මේ රට ඉක්මනට ගොඩදැම්මයි කියලා. නමුත් විපක්ෂය කිසිම සහයෝගයක් දෙන්නෙ නෑ. විවේචනය පමණයි.?
පිළිතුර – මං හිතනවා සම්ප්‍රදායානුකූල විරුද්ධ පක්ෂයක් වෙන්න ගියොත් ඒ පක්ෂයට පවතින්න බැරි වෙනවා. ඇත්ත වශයෙන් වර්තමානයේ විරුද්ධ පක්ෂය බවට පරිවර්තනය වෙලා තිබෙන්නේ අනුර කුමාර දිසානායක මහතා ඇතුළු දේශපාලන කණ්ඩායම. ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී රටක තිබෙන ධනේෂ්වර ක්‍රමයෙන් එහා ගිය සමාජවාදී කණ්ඩායමක් හැටියට ඔවුන් සමාජගත වෙලා තිබෙනවා. අනෙක් සියලු කණ්ඩායම් රජයේ කොටස් හැටියට තමයි මහජනතාව පිළිගන්නෙ.
ප්‍රශ්නය – ජනාධිපතිතුමා ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන්නෙ සමීක්ෂණයකින් පසුවද?
පිළිතුර – කිසිම සමීක්ෂණයක් අවශ්‍ය කරන්නෙ නැහැ. ශ්‍රී ලාංකික මහජනතාව ජාතික නායකයෙක් හැටියට රනිල් වික්‍රමසිංහ මැතිතුමා පිළිගනිමින් තිබෙනවා.
ප්‍රශ්නය – ජනතාව කියනවා එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය අන්තිම මොහොතේ එකතු වෙලා ජනාධිපතිවරණයට එක් අපේක්ෂකයකු ලෙස ජනාධිපතිතුමා දාවි කියලා.?
පිළිතුර – ඇයි සමගි ජන බලවේගය විතරක්. සියලු දේශපාලන පක්ෂ එකමුතු විය යුතුමයි. වෙන විකල්පයක් ශ්‍රී ලංකාවට නැහැ. ඒ එකමුතුකමෙන් විතරයි ජාතික ප්‍රතිපත්ති රාමුවක් සකස් කරගන්න පුළුවන්කමක් තිබෙන්නෙ.
අනිවාර්යයෙන් ජාතික ප්‍රතිපත්තිවලට එකඟ වෙන සියලු දේශපාලන පක්ෂ එකට එකතු වෙනවා. ජාතික ප්‍රතිපත්තිවලට විරුද්ධ දේශපාලන කණ්ඩායම් වෙන් වෙයි. වෙන විකල්පයක් නැහැ මේ අවස්ථාවේ.
ශිරෝමි අබයසිංහ සහ මැද කොළඹ සමූහ