ජන පීඩිත මාර්ගගත සුරක්ෂිතතා පනත සමගි ජන බලවේග රජයක් තුළ ඉල්ලා අස්කර ගන්නා බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කරයි. රජය මාර්ගගත සුරක්ෂිතභාවය සම්බන්ධ පනත අනුමත කර ගත්තේ මැතිවරණ වසරක් තුළ රාජ්‍ය කේන්ද්‍රීය මර්දන ක්‍රියා ක්‍රියාත්මක කර රටේ පොදු ජනතාවගේ දේශපාලන අයිතිය කොල්ලකා මර්දනය ක්‍රියාත්මක කිරීමට බවත් මේ පනත හරහා මේ රටේ සුවහසක් ජනතාවගේ මූලික අයිතිවාසිකම් මානව අයිතිවාසිකම් උල්ලංඝනය වන බවත් විපක්ෂ නායකවරයා පැවසීය. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ මාර්ගගත සුරක්ෂිතතාව සම්බන්ධ පනත පිළිබඳ විශේෂ ප්‍රකාශයක් සිදු කරමිනි. ත්‍රස්තවාදීයා සහ දේශප්‍රේමියා කවුද කියා තීරණය කිරීමට දේශපාලන අධිකාරියට හැකියාව ලැබෙන බවත් දේශපාලන මත දැරීමේ අයිතිය සහමුලින්ම උල්ලංඝනය වන බවත් විපක්ෂ නායකවරයා අවධාරණය කළේය.
සාධාරණ නියාමනයක් වෙනුවෙන් සමගි ජන බලවේගය පුනපුනාම අදහස් පළ කළ බවත් විවිධ පාර්ශ්වකරුවන්ගේ අදහස් යෝජනා ලබාගෙන එවැනි නියාමන පද්ධතියක් සිදු කරන්නැයි කියා සිටියත් ඒ සඳහා ලබා දුන්නේ සීමිත කාලයක් බවත් පාර්ශ්වකරුවන් නාමිකව සාකච්ඡාවලට කැඳවා රජයට අවශ්‍ය දේ සිදුකර ජනතාවගේ නිදහස් ස්වාධීන තීන්දු තීරණ ගැනීම සහ පොදු ජන අයිතීන් උල්ලංඝනය කළ බවත් විපක්ෂ නායකවරයා පැවසීය. සමගි ජන බලවේගය සහ සමගි ජන සන්ධාන රජයක් තුළ මේ පනත අහෝසි කිරීම ප්‍රමුඛ කාර්යභාරයක් බවත් ඉන්පසු ජනතාවට යහපත් රටට යහපත් මානව අයිතීන් සුරක්ෂිත වන මානව නිදහසට ඉඩ ලබා දෙන සත්‍ය මත පදනම්ව තොරතුරු ලබා දීම ක්‍රියාත්මක කිරීම උදෙසා අවශ්‍ය යථාර්ථවාදී සත්‍යවාදී ප්‍රායෝගික ප්‍රගතිශීලී නියාමනයක් සියලු පාර්ශ්වයන්ගේ අදහස් අනුව ක්‍රියාත්මක කරන බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් අවධාරණය කළේය. එසේම මේ අනුමත කර ගත් පනත හරහා රජයට තාවකාලික සැනසීමක් ලබා ගත හැකි බවත් එය මාස කිහිපයකට පමණක් සීමා වන බවත් සමගි ජන බලවේග රජයක් තුළ ජන පීඩක මෙම පනත ඉල්ලා අස් කර ගන්නා බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා තවදුරටත් පැවසීය.
රක්ෂණ ශ්‍රියන්ත