Home » රෝහලේ දමා ගිය බිලිඳා දින 11කට පසු මියයයි පලා ගිය මවුපියන් අල්ලන්න උසාවියෙන් නියෝග

රෝහලේ දමා ගිය බිලිඳා දින 11කට පසු මියයයි පලා ගිය මවුපියන් අල්ලන්න උසාවියෙන් නියෝග

by sachintha
January 29, 2024 2:55 am 0 comment

කුරුණෑගල වැඩ බලන මහේස්ත්‍රාත් නීතීඥ ජයප්‍රේම බී. තෙන්නකෝන් මහතා අන්‍යතාව තහවුරු කර ගැනීමට නොහැකිව මියගොස් සිටින ළදරුවාගේ මරණ පරීක්ෂණය සිදු කළ අවස්ථාව.

කුරුණෑගල ශික්ෂණ රෝහලේදී ප්‍රසූත කිරීමෙන් අනතුරුව දමා ගොස් සිටියදී මරණයට පත්වූ දින එ⁣කොළහක් වයැසැති බිලිඳු දරුවෙකුගේ අනන්‍යතාව තහවුරු කර ගැනීම සඳහා මාපියන් සොයා අත්අඩංගුවට ගන්නා ලෙස කුරුණෑගල වැඩ බලන මහේස්ත්‍රාත් නීතීඥ ජයප්‍රේම බී. තෙන්නකෝන් මහතා කුරුණෑගල මූලස්ථාන පොලීසියට නියම කළේය.

රෝහලේ නොමේරු ළදරු දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී මරණයට පත්වූයේ පිරිමි ළදරුවෙකි. ළදරුවාගේ මරණ පරීක්ෂණය කුරුණෑගල ශික්ෂණ රෝහලේදී සිදු කිරීමෙන් අනතුරුව වැඩ බලන මහේස්ත්‍රාත්වරයා පොලීසියට අදාළ නියෝගය දුන්නේය.

නොමේරු තත්ත්වයක උපත ලද දරුවා ප්‍රසූත කළ මව දරුවා ළදරු දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කිරීමෙන් අනතුරුව රෝහලෙන් කිසිවෙකුටත් නොදන්වා මීට දින කීපයකට පෙර පිටව ගොස් තිබුණි. ඒ අතරේදී දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි ළදරුවා මියගොස් ඇත.

ඒ අනුව මියගොස් සිටින ළදරුවාගේ අනන්‍යතාව තහවුරු කර ගැනීම සඳහා මාපියන් සොයා ඔවුන් හා සම්බන්ධ ඩීඑන්ඒ පරීක්ෂණයක් සිදු කරන ලෙස වැඩ බලන මහේස්ත්‍රාත් නීතීඥ තෙන්නකෝන් මහතා පොලීසියට නියම කළේය. එසේම ළදරුවාගේ මාපියන් රටින් පැන යාහැකි බවට ලද තොරතුරක්ද සැලකිල්ලට ගත් වැඩ බලන මහේස්ත්‍රාත්වරයා ඔවුන්ට රටෙන් පැනයා නොහැකි වන ලෙස කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළට දන්වන ලෙසද නියම කළේය.

පොල්ගහවෙල ගොඩවෙල ප්‍රදේශයේ පදිංචි තරුණ යුවළක් මෙම ළදරුවාගේ මාපියන් බවට සැක කරන අතර ධම්මි අබේසිංහ නමැති තරුණ කාන්තාවක් ⁣දරුවා ප්‍රසූත කර ඇති බව පොලීසිය සඳහන් කළේය. ඔවුන් ලබාදී ඇති ලිපිනය ව්‍යාජ එකක් බවට සැක කරන පොලීසිය මේ වනවිට ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා සැඟව සිටින තැන් සොයා විමර්ශන සිදු කරමින් සිටී. කුරුණෑගල මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක ධම්ම චන්නක කොබ්බෑවල මහතාගේ උපදෙස් අනුව ළමා හා කාන්තා කාර්යාංශයේ උප පොලිස් පරීක්ෂක වික්‍රමසිංහ මහතා ඇතුළු නිලධාරී පිරිසක් වැඩිදුර විමර්ශන සිදු කරති.

 

කුරුණෑගල අතිරේක – පුෂ්පකුමාර ජයරත්න

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT