Monday, May 12, 2025
Home » විශ්‍රාමික DIG ගේ දියණිය කියා ගන්දර පොලිසියේ සැරයන්වරියට පහර දීලා

විශ්‍රාමික DIG ගේ දියණිය කියා ගන්දර පොලිසියේ සැරයන්වරියට පහර දීලා

by sachintha
January 30, 2024 1:06 am 0 comment

සැකකාරියට ඇප; මානසික වාර්තාවකුත් කැඳවයි

විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පතිවරියකගේ දියණියක් බව පවසමින් දෙවිනුවර ඔරලෝසු කණුව අසල දෙනෝදහක් දෙනා බලා සිටියදී කලහකාරී ලෙස හැසිරෙමින් පොලිස් සැරයන්වරියකට පහරදුන් විශ්‍රාමික පොලිස් පරීක්ෂකවරියකගේ දියණියක් ගන්දර පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් විසින් පෙරේදා (28) සවස අත්අඩංගුවට ගෙන තිබේ. ඇය මාතර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් පසු රුපියල් ලක්ෂ 2ක් බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැර ඇත. ඇගේ නීතිඥවරයා සැකකාරිය මානසික අාබාධයකින් පෙළෙන බවට ඉදිරිපත් කළ වෛද්‍ය වාර්තා සලකා බැලූ මහෙස්ත්‍රාත් අරුණ බුද්ධදාස මහතා, දින තුනක් ඇතුළත සැකකාරිය මානසික වෛද්‍යවරයකුට යොමු කර වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසද නියෝග කළේය.

ගන්දර පොලිසියේ සේවයේ නිරත පොලිස් සැරයන්වරයෙක් සහ පොලිස් සැරයන්වරියක් ABV – 2916 අංකය දරන පොලිස් ත්‍රිරෝද රථයෙන් සැකකරුවෙක් අධිකරණයට ඉදිරිපත් කිරීමට රැගෙන ගොස් ඇත. රථය පදවා ඇත්තේ කොස්තාපල් රියදුරෙකු විසිනි. අධිකරණ කටයුතු අවසන්ව මෙම නිලධාරීන් ත්‍රිරෝද රථයෙන්ම පොලිස් ස්ථානය වෙත ගමන් කරමින් සිටියදී දෙවිනුවර ඔරලෝසු කණුව අසලදී වේගයෙන් පැමිණි මෝටර් රථයක් ත්‍රිරෝද රථයේ ගැටෙන්නට ගොස් නූලෙන් බේරී තිබේ. එහිදී පොලිස් නිලධාරීන් අදාළ මෝටර් රථය නතර කළ අවස්ථාවේදී රියදුරු අසුනේ සිටි කාන්තාවක් තමා විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පතිවරියකගේ දියණියක් බව හඳුන්වා දී ඇත. ඒ නිලධාරිනියකගේ නමක්ද පවසමිනි.

මේ වන විට පොලිස් සේවයේ විශ්‍රාම ගොස් සිටින එකම නියෝජ්‍ය පොලිස්පතිනිය වන්නේ ප්‍රමිලා දිවාකර මහත්මිය පමණක් වූ බැවින් පොලිස් නිලධාරීන්ට ඇය සම්බන්ධයෙන් ඇති වී තිබෙන්නේ සැකයකි. ඒ වන විටත් එම කාන්තාව පොලිස් නිලධාරීන්ට බැණ වදිමින් කලහකාරී ලෙස හැසිරෙමින් සිට ඇත.

තත්ත්වය පාලනයකර ගැනීමට නොහැකි වූ බැවින් ත්‍රිරෝද රථයේ සිටි නිලධාරීන් මේ ගැන ගන්දර පොලිස් ස්ථානය දැනුවත් කිරීමට පියවර ගෙන තිබේ. ඒ අනුව මෙම ස්ථානයට උප පොලිස් පරීක්ෂකවරියක් පැමිණ ඇත්තේ පොලිස් ස්ථානාධිපතිවරයාගේ උපදෙස් මතය. එම නිලධාරිනිය ගැටලුව විසඳීමට මැදිහත්වන විට විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පතිවරියකගේ දියණිය ලෙස පෙනී සිටි කාන්තාව පොලිස් සැරයන්වරියට පහරදී ඇත. එම පහරදීමෙන් තුවාල ලද ඇය තංගල්ල රෝහලට ඇතුලත් කර ඇති අතර, ඒ සම්බන්ධයෙන් සැකපිට විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පතිවරියගේ දියණිය ද පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ තංගල්ල නෙටොල්පිටිය වීරසිංහ මාවතේ පදිංචි 31 හැවිරිදි කාන්තාවකි. එම කාන්තාව අත්අඩංගුවට ගැනීමෙන් පසු කළ විමර්ශනයේදී හෙළිවී ඇත්තේ ඇය විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පතිවරියගේ දියණියක් නොව, විශ්‍රාමික පොලිස් පරීක්ෂකවරියකගේ දියණියක් බවය.

ගයාන් කුමාර වීරසිංහ, ගන්දර සමූහ – ජයසිරි පේදුරුආරච්චි

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT