Home » අමෙරිකා එක්සත් ජනපද සංවර්ධන මූල්‍ය ආයතනයේ සහාය ලැබීමට IIHS සුදුසුකම් ලබයි

අමෙරිකා එක්සත් ජනපද සංවර්ධන මූල්‍ය ආයතනයේ සහාය ලැබීමට IIHS සුදුසුකම් ලබයි

by sachintha
January 30, 2024 1:11 am 0 comment

ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය අධ්‍යාපනයේ ප්‍රමුඛයා වන International Institute of Health Sciences (IIHS) මෙරට ඉතිහාසයේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් අමෙරිකා එක්සත් ජනපද සංවර්ධන මූල්‍ය ආයතනය (Development Finance Corporation) (DFC) සමඟ සහයෝගීතාවකට එළඹුණේය. DFC සපයන අරමුදල් ලැබීම සඳහා වන සුවිශේෂ නිර්ණායක සාර්ථකව සපුරා ඇති දකුණු ආසියාවේ එකම සෞඛ්‍ය අධ්‍යාපන ආයතනය බවට පත් වීමට මෙම සහයෝගීතාව සමඟ IIHS සමත් වී ඇත.

මෙම අරමුදල් IIHS Multiversity ව්‍යාපෘතිය සඳහා යොදා ගැනෙන අතර, එම අරමුදල්වලින් IIHS විසින් සිය නවතම පරිසර හිතකාමී දැවැන්ත Multiversity ගොඩනැඟිලි පරිශ්‍රය ඉදි කරනු ලබයි.

සෞඛ්‍ය අධ්‍යාපන ක්ෂේත්‍රයට අදාළ සුදුසුකම් සැපිරීම සඳහා සිසු සිසුවියන්ට අවස්ථා රැසක් සපයන අතර, සමාජ, ආර්ථික සහ පාරිසරික ආදී ක්ෂේත්‍ර රැසකට IIHS දක්වා ඇති ප්‍රමුඛ දායකත්වය මෙම අරමුදල් සඳහා සුදුසුකම් ලැබීමට ප්‍රධාන හේතු විය. මෙම සහයෝගීතාව එළිදැක්වීමේ උත්සවය පසුගියදා වත්තල IIHS ආයතනයේදී පැවති අතර, ඊට ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපති ජූලි චංග්, IIHS ප්‍රධාන විධායක නිලධාරී වි‌ශේෂඥ වෛද්‍ය කිත්සිරි එදිරිසිංහ, ආයතනයේ කාර්ය මණ්ඩලය, සිසු සිසුවියෝ සහ මාපියෝ විශාල පිරිසක් සහභාගී වූහ.

එහිදී විශේෂඥ වෛද්‍ය එදිරිසිංහ සඳහන් කළේ මිනිසා, ප්‍රජාව සහ රට පරිණාමනය කිරීම දැක්ම කර ගත් IIHS සෑමවිටම එහි අධ්‍යාපනය ලබන සිසු සිසුවියන්, ප්‍රජාව සහ රට යන සෑම පාර්ශ්වයකටම වටිනාකමක් එකතු කිරීමට කටයුතු කරන බවයි. තමන්ට මීට වසර කිහිපයකට පෙර එක්සත් ජනපදයේ අධ්‍යාපන ක්‍රමය පිළිබඳව හැදෑරීමට අවස්ථාව ලැබුණු බවත්, එම වැඩසටහනට සහභාගී වීමෙන් ලැබූ දැනුම IIHS වෙත ආරෝපණය කිරීමට හැකි වීම පිළිබඳව සතුටු වන බවත් ඔහු පැවසීය.

අමෙරිකානු තානාපතිනිය උත්සවය අමතමින් සඳහන් කළේ එක්සත් ජනපදය සහ ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශ්වික සබඳතා අරඹා වසර 75ක් සපිරෙන මොහොතක මෙරට සෞඛ්‍ය අධ්‍යාපනයේ උන්නතිය උදෙසා IIHS සමඟ එක්වීම සතුටට කරුණක් බවයි. එය මෙරට හෙද සහ වෛද්‍ය කාර්ය මණ්ඩලවලට සිය සිහින යථාර්ථයක් බවට පත් කර
ගැනීමට එක්සත් ජනපදය දීර්ඝ කාලයක් පුරා දක්වා ඇති දායකත්වය යළි තහවුරු කිරීමක් බවද ඇය පැවසුවාය.

DFC ප්‍රධාන විධායක නිලධාරී ස්කොට් නාදන් ද පසුගියදා IIHS හි නිරීක්ෂණ චාරිකාවකට එක් විය. ඒ පිළිබඳව පණිවුඩයක් තබමින් මෙරට අමෙරිකානු තානාපති කාර්යාලය සඳහන් කළේ සෞඛ්‍ය සේවා නව්‍යකරණය සහ ව්‍යවසායකත්වය සඳහා වන දකුණු ආසියානු ප්‍රමුඛයා වීමේ IIHS දැක්ම වෙනුවෙන් එක්සත් ජනපදය ඉදිරියටත් කැපවන බවයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT