Tuesday, May 13, 2025
Home » වැටුණු තැනින් නැඟිටින්න දේශපාලන නායකත්වයට උපරිම සහයෝගය දෙන්න

වැටුණු තැනින් නැඟිටින්න දේශපාලන නායකත්වයට උපරිම සහයෝගය දෙන්න

-පොලොන්නරුවේදී අගමැති රාජ්‍ය සේවකයන්ගෙන් ඉල්ලයි

by sachintha
January 30, 2024 1:23 am 0 comment

දේශපාලන මතභේද, වාදයට පමණක් සීමා කළ යුතු බව අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා පැවසීය.

ආහාර සුරක්ෂිතතාව හා පෝෂණය සහතික කිරීම සඳහා ග්‍රාමීය ආර්ථික පුනර්ජීවන කේන්ද්‍ර සවිබල ගැන්වීමේ බහු ආංශික ඒකාබද්ධ යාන්ත්‍රණය, අලුත් ගමක් – අලුත් රටක් ජාතික ඒකාබද්ධ සංවර්ධන වැඩසටහන, පොලොන්නරුව දිස්ත්‍රික් ප්‍රගති සමාලෝචන රැස්වීම පොලොන්නරුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේ ඊයේ (29) පැවති අවස්ථාවේදී අගමැතිවරයා මේ බව සඳහන් කළේය.

අප ක්‍රියාත්මක කරන සංවර්ධන වැඩසටහන් ඉලක්ක ගත වැඩපිළිවෙළ ඉටු කිරීමට රාජ්‍ය නිලධාරියාට වගකීමක් හා යුතුකමක් තිබෙන බවත් දේශපාලන නායකත්වයට රාජ්‍ය සේවකයන්ගේ සහයෝගය දෙන ලෙසත් අගමැතිවරයා කියා සිටියේය.

අගමැතිවරයා වැඩිදුරටත් මෙසේද පැවසීය.

අපි දැවැන්ත විශ්වාසයකින් රට ගොඩගත්තා.කවුරු මොනවා කීවත් ඔබ ඒ විශ්වාසය තැබූවා.අපි වැටුණු බරපතළ පසුබෑමෙන් අද රට හිස ඔසවා තිබෙනවා.ලෝකයේ රටවල් අපිත් එක්ක ගනුදෙනු නැවැත්වූවා. බැංකු පද්ධතිය ගනුදෙනු නැවැත්තුවා. අමාරු අවස්ථාවල යළි විශ්වාසය දිනාගෙන ඒ අවස්ථා සමඟ ගනුදෙනු කරමින් රට පුළුල් තත්ත්වයකට,යහපත් තත්ත්වයකට ගෙනාවා.

රජයේ සේවකයන්ගේ විශ්වාසය මතක් කරන්න ඕනෑ.ඔබ උගත් බුද්ධිමත් තොරතුරු දන්න පිරිසක්. ග්‍රීසියට මොකද වුණේ. ආර්ථික පසුබෑමට ලක්වුණා. රජයේ සේවකයන් අඩු කළා. අපි එහෙම කළේ නැහැ. අපි විශ්‍රාම වැටුප් ගෙවීම් කළා. කිසිම දවසක වැටුප නැවැත්තුවේ නැහැ.

රටේ නිෂ්පාදනය වැඩි කර අතිරික්තයක් උපයන්න තරම් ගොවීන් අපට විශාල ශක්තියක් වුණා. මේ රට, ඒ වගේම ලෝකය අපව විශ්වාස කළා. ඒ විශ්වාසය මත රටට ගොඩ යන්න පුළුවන් කියා අද අපි දන්නවා. අපි ඒ දුෂ්කර කාලය පසු කර ජනතාවට දරුවන්ට අනාගතය සකස් කළා.

ඒ නිසා රාජ්‍ය සේවකයන් විදියට විශාල හැකියාවක් වගකීමක්, යුතුකමක් තිබෙනවා. රාජ්‍ය සේවය දැනට කරගෙන යන සංවර්ධන ක්‍රියාවලියට සහ ඉදිරියේදී ඉලක්ක ගත සංවර්ධන වැඩවලට දායක වෙන්න. මම සියලු දෙනාගෙන්ම ඉල්ලා සිටිනවා දිස්ත්‍රික්කයේ දේශපාලන නායකත්වයට රාජ්‍ය සේවකයන්ගේ සහයෝගය දෙන්න කියලා.

රාජ්‍ය ඇමැති සිරිපාල ගම්ලත්,පොලොන්නරුව දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් සමරවික්‍රම,උතුරු මැද පළාත් ආණ්ඩුකාර මහීපාල හේරත්,රාජ්‍ය ඇමැති ජානක වක්කුඹුර,පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන,කීන්ස් නෙල්සන්,යදාමිණි ගුණවර්ධන,රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ ලේකම් ප්‍රදීප් යසරත්න,පොලොන්නරුව දිස්ත්‍රික් ලේකම් සුජන්ත ඒකනායක මහත්වරුන් මේ අවස්ථාවට සහභාගි වූහ.

නුවන් කොඩිකාර සහ එම්.පී.සරත් පොලොන්නරුව දිසා සමූහ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT