යහපාලන ආණ්ඩුවේ අගමැතිවරයාව සිටි රනිල් වික්‍රමසිංහ මහතා එම ධුරයෙන් ඉවත් කර මහින්ද රාජපක්ෂ මහතා අගමැතිවරයා ලෙස පත්කිරීම සම්බන්ධයෙන් අධිකරණය හමුවේ කරුණු දක්වන ලෙස එවකට ජනාධිපතිවරයා ලෙස කටයුතු කළ මෛත්‍රීපාල සිරිසේන මහතාට මහින්ද රාජපක්ෂ ඇතුළු පිරිසකට නියම කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (29) නොතීසි නිකුත් කළේය.
රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ධුරයෙන් ඉවත් කිරීමට එරෙහිව ගොනුකරන ලද මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාගයට ගැනීමට අවසර දෙමින් මෙලෙස නොතීසි නිකුත් කරන ලදි.
එවක ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ මෙම ක්‍රියාව මඟින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12(1) වගන්තිය මඟින් සහතික කර ඇති මූලික අයිතිවාසිකම බැලූ බැල්මට උල්ලංඝනය විය හැකිය යන පදනම මත මෙම පෙත්සම විභාගයට ගැනීමට අවසර දෙන ලදී.
පෙත්සම් විභාගය සැප්තැම්බර් මස 23 වැනි දා සිදු කිරීමට නියම කෙරිණ. එස්. තුරෙයිරාජා, කුමුදුනී වික්‍රමසිංහ සහ අචල වෙංගප්පුලි යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල හමුවේ මෙම පෙත්සම කැඳවන ලදී.
සමාජ ක්‍රියාකාරිකයකු වන ඕෂල අනිල් හේරත් මෙම පෙත්සම ගොනුකර තිබුණි. මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු දෙසියවිසි හත්දෙනෙකු පෙත්සම මඟින් වගඋත්තරකරුවන් ලෙස නම් කර සිටියහ.
පෙත්සම්කරු සඳහන් කර සිටියේ යහපාලන ආණ්ඩුවේ අගමැතිවරයා ලෙස කටයුතු කළ රනිල් වික්‍රමසිංහ මහතා එම ධුරයෙන් ඉවත්කර ඒ වෙනුවට අගමැතිවරයා ලෙස මහින්ද රාජපක්ෂ මහතා පත්කරමින් 2018 ඔක්තෝම්බර් මස 26 වැනිදා එවකට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ගැසට් නිවේදනයක් නිකුත් කළ බවය.
19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ජනාධිපතිවරයාගේ අභිමතය මත පමණක් අගමැතිවරයා ඉවත් කළ නොහැකි බවට පෙත්සම මඟින් කරුණු ඉදිරිපත් කර තිබුණි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දී 47 වැනි විධානය අනුව පාර්ලිමේන්තුවේ බහුතර කැමැත්ත ඇති පුද්ගලයා අගමැතිවරයා ලෙස පත්කළ යුතු අතර ඒ වන විට අගමැතිවරයා ලෙස කටයුතු කළ රනිල් වික්‍රමසිංහ මහතා සතුව පාර්ලිමේන්තුවේ බහුතර කැමැත්ත තිබූ බව පෙත්සම මඟින් පෙන්වා දී තිබිණ.
එසේ තිබියදී රනිල් ක්‍රමසිංහ මහතා අගමැති ධුරයෙන් ඉවත් කිරීමට එවක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කටයුතු කිරීම ව්‍යවස්ථා විරෝධී බවට පෙත්සම් මඟින් කරුණු පෙන්වා දී තිබුණි.
එසේම රනිල් වික්‍රමසිංහ මහතා එම ධුරයෙන් ඉවත් කිරීම අත්තනෝමතික, අසාධාරණ සහ අනීතික ක්‍රියාවක් බවට පෙත්සම් මඟින් කරුණු දක්වා තිබුණි. එබැවින් දින 55 ආණ්ඩුවේ අගමැතිවරයා ලෙස මහින්ද රාජපක්ෂ මහතා පත්කරමින් නිකුත් කළ අදාළ ගැසට් නිවේදනය බල රහිත කරන නියෝගයක් නිකුත් කරන ලෙස මෙම පෙත්සම් මඟින් ඉල්ලා තිබුණි.
පෙත්සම සම්බන්ධයෙන් නීතිඥ නිරංජන් ද සිල්වා මහතා ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව එවක ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ මෙම ක්‍රියාව මඟින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දොළහ එක වගන්තිය මඟින් සහතික කර ඇත්තේ මූලික අයිතිවාසිකම බැලූ බැල්මට උල්ලංඝනය විය හැකි බවට විනිසුරු මඬුල්ල නිගමනය කළේය. ඒ අනුව පෙත්සමහි ඇතුළත් කරුණු සම්බන්ධයෙන් පූර්ණ විභාගයක් පැවැත්වීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කළේය.
පෙත්සම සම්බන්ධයෙන් ලිඛිත දේශන දින දොළහක් ඇතුළත ගොනු කරන ලෙස දෙපාර්ශ්වයට නියම කළ අතර, පෙත්සම සම්බන්ධයෙන් වන විරෝධතා සති හතරකදී ගොනුකරන ලෙස වගඋත්තරකාර පාර්ශ්වයට නියම කෙරිණ. ඊට එරෙහි ප්‍රතිවිරෝධතා සති දෙකකදී ගොනු කරන ලෙස පෙත්සම්කාර පාර්ශ්වයට නියම කෙරිණ.
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් නිර්මලන් විග්නේෂ්වරන් මහතා වග උත්තරකාර නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටියේය.
නෙල්කා මැදගෙදර