Tuesday, May 13, 2025
Home » මැතිවරණ කාලය ළංවෙත්ම බුදුවරු-බෝසත්වරු කියන අය මතු වෙනවා

මැතිවරණ කාලය ළංවෙත්ම බුදුවරු-බෝසත්වරු කියන අය මතු වෙනවා

by sachintha
January 30, 2024 1:40 am 0 comment

මැතිවරණ කාලයක් ආසන්න වෙත්ම බුදුවරු, බෝසත්වරු යැයි කියා ගත් පුද්ගලයන් මතුවන ස්වරූපයක් රටේ දක්නට ලැබෙන බවත් මේවාට මුලා නොවී ජනතාව නිවැරැදි මාවතට යොමු කිරීම සඳහා මහා සංඝරත්නයට සුවිශාල කාර්යභාරයක් පැවරෙන බවත් අස්ගිරි පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඤාණරතන මහානායක ස්වාමින්ද්‍රයන් වහන්සේ පවසති. පසුගිය කාල වකවානුව දෙස බැලීමේ දී මේ ආකාර එක් එක් උවදුරු මැතිවරණ කාලයක් ආසන්න වනවිට රටට පාත්වන ස්වරූපයක් දක්නට ලැබෙන්නේ යැයි ද උන්වහන්සේ කීහ.

පොල්ගොල්ල බෝධිමල්කඩ විහාරස්ථාන දහම් පාසලේ අධ්‍යාපනය ලබන සිසු සිසුවියන්ට පාසල් පොත් බෙදා දීමේ වැඩසටහනකට පෙරේදා (29) එක් වෙමින් මහනාහිමියෝ මේ බව පැවසූහ. භික්ෂූන් වහන්සේ නිර්ධය ලෙස විවේචනය කරමින් උන්වහන්සේලාට නොයෙක් ආකාරයෙන් අපහාස කිරීමේ වැඩපිළිවෙළක් රටේ ක්‍රියාත්මක වෙමින් තිබෙන බවත් බෞද්ධ ජනතාව මේ සම්බන්ධයෙන් අවධානයෙන් පසුවිය යුතු බවත් ඤාණරතන මහනාහිමියෝ අවධාරණය කළහ. මත් උවදුරින් රට මුදා ගැනීම සඳහා මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා සහ වැඩ බලන පොලිස්පතිවරයා විශේෂ උනන්දුවකින් කටයුතු කරන බවත් එය අවසානයක් කරා ගෙන යෑමට ඔවුන්ට කාගේත් සහය ලැබිය යුතු බවත් උන්වහන්සේ ප්‍රකාශ කළහ.

මේ වනවිට පාසල් දරුවන් පවා මත් උවදුරට ගොදුරු වෙමින් තිබෙන බවත් ඉන් රට මුදා ගැනීම ජාතික අවශ්‍යතාවක් බවත් මහනාහිමියෝ පැවසූහ. පාතාලය ඇතුළු නොයෙකුත් සමාජ විරෝධී ක්‍රියා කරන බොහෝ දෙනෙකු දේශපාලනඥයින් ඇසුරේ පසුවන්නන් බවත් ඔවුන් විසින් සිදු කරන සමාජ විරෝධී ක්‍රියාවන්ට අදාළ වගකීමෙන් දේශපාලනඥයින්ට නිදහස් වීමට නොහැකි බවත් උන්වහන්සේ අවධාරණය කළහ. සමාජ විරෝධී ක්‍රියාවන් හි නිරත බහුතරයක් දෙනා දහම් අධ්‍යාපනයක් තබා භික්ෂු ඇසුරක් නොලැබූ අය බවත් පාසල්වල අද සතියකට බෞද්ධාගම උගන්වනු ලබන්නේ කාල පරිච්ඡේද දෙකක් පමණක් බවත් පැවසූ මහනාහිමියෝ දරුවන් දහම් පාසල් වෙත යොමු කිරීමට මවුපියන් උනන්දු විය යුතු යැයි ද කීහ. මෙම අවස්ථාවට අස්ගිරි පාර්ශ්වයේ කාරක සංඝ සභික මුරුද්දෙණියේ ධම්මරතන, ලියන්වල ශාසනරතන යන හිමිවරු ද සහභාගි වූහ.

අසේල කුරුළුවංශ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT