Monday, May 12, 2025
Home » යටහලෙන ලෙන් සමූහය පුරාවිද්‍යා අනුග්‍රහයෙන් සංරක්ෂණය කරයි

යටහලෙන ලෙන් සමූහය පුරාවිද්‍යා අනුග්‍රහයෙන් සංරක්ෂණය කරයි

by sachintha
January 30, 2024 1:06 am 0 comment

කෑගල්ල ගලිගමුව ඓතිහාසික යටහලෙන ලෙන් සමූහය පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව අනුග්‍රහයෙන් සංරක්ෂණය කෙරේ. මේ සඳහා යටහලෙන දායක සභාව පිහිටුවීමේ සහ ප්‍රදේශවාසීන් දැනුම්වත් කිරීමේ වැඩසටහනක් පසුගියදා (28) යටහලෙන ලෙන් විහාරස්ථානයේදී පැවැත්විණි. ඒ යටතේ ඵෙතිහාසික යටහලෙන පිළිමගෙයි පියස්ස සහ චිත්‍ර මූර්ති සංරක්ෂණයත්, ඒ සමීපයේ පිහිටි ගල්ලෙන් සංරක්ෂණය කිරීමත්, පෙත්මඟ ඉදි කිරීමත් සිදු කරන බව කෑගල්ල දිස්ත්‍රික් පුරාවිද්‍යා සහකාර අධ්‍යක්ෂ විරාජ් බාලසූරිය මහතා පැවසීය. යටහලෙන සංචාරක ආකර්ෂණ ස්ථානයක් ලෙස සංවර්ධනය කිරීමේදී ලෙන් අසල පිහිටි පොකුණ වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ අනුග්‍රහයෙන් සහ යටහලෙන ප්‍රවේශ මාර්ග, මාර්ග සංවර්ධන අධිකාරියේ අනුග්‍රහයෙන් සංවර්ධනය කිරීමට නියමිතය. බුදු දහම ලංකාවේ ප්‍රචලිත වූ මුල් කාලයට අයත් යටහලෙන සෙල් ලිපි ක්‍රිස්තු පූර්ව පළමු සියවසට අයත් වන බවත්, මෙවැනි ලෙන් සමූහයක් හා ඉතිහාසගත තොරතුරුවලට සම්බන්ධ ප්‍රදේශයක් කෑගල්ල දිස්ත්‍රික්කයේ තවත් නොමැති බවත් බාලසූරිය මහතා එහිදී පැවසීය. ඔහු වැඩිදුරටත් කියා සිටියේ, ගලිගමුව නගරයේ සිට විනාඩි පහකින් පමණ ළඟා විය හැකි මෙම ස්ථානය පින්නවල හා කිතුල්ගල සංචාරක කොරිඩෝවේ පිහිටි ඵෙතිහාසික ස්ථානයක් ලෙස සංවර්ධනය කිරීමට මුදල් රාජ්‍ය ඇමැති රංජිත් සියඹලාපිටිය මහතාගේ සහ රජයේ අවධානය යොමු වී ඇති බවයි. පසුගිය කාලයේදී කිසියම් පිරිසක් මෙම ලෙන් විහාරයේ පියස්සට හානි සිදු කිරීමෙන් එහි ඇතුළත ඇති සැතපෙන පිළිමය ස්ථාන කිහිපයකින් වැසි ජලයට නිරාවරණය වී තිබූ අතර, ලෙන් විහාරයෙහි පියස්ස ද අබලන් වීමෙන් ආධාරක සවි කර ඇති අයුරු එහිදී දැකගත හැකි විය. මෙම තත්ත්වයන් වළක්වා ගැනීම සඳහා රාජ්‍ය නිලධාරීන් ලෙස පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මූලික වුවත් මෙම ජාතික උරුමයන් රැක ගැනීමේ වගකීම ඇත්තේ යටහලෙන දායක සභාවට බව සහකාර අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් කීය. යටහලෙන පුරාණ විහාරාධිපති මාවීකන්දේ රතනපාල හිමියන් ද මෙහිදී අදහස් දැක්වූ අතර විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

 

රඹුක්කන විශේෂ ඔස්වල්ඩ් ගොඩකුඹුර

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT