Home » පාකිස්තානයේ මහමැතිවරණය අත ළඟ තිබියදී හිටපු අගමැති ඉම්රාන්ට තවත් අවුරුදු 14ක සිර දඬුවමක්

පාකිස්තානයේ මහමැතිවරණය අත ළඟ තිබියදී හිටපු අගමැති ඉම්රාන්ට තවත් අවුරුදු 14ක සිර දඬුවමක්

by sachintha
February 1, 2024 1:24 am 0 comment

බිරිය බුෂ්රාටත් වසර 14ක්

රාජ්‍ය රහස් ප්‍රසිද්ධ කිරීමේ චෝදනාවට වසර 10ක සිරදඬුවම් නියම වී පැය 24ක් ගත වීමටත් පෙර පාකිස්තානයේ හිටපු අගමැති ඉම්රාන් ඛාන්ට තවත් වසර 14ක සිරදඬුවම් නියම වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ඔහුට මේ ද්විත්ව සිර දඬුවම් නියම වී ඇත්තේ එරට මහමැතිවරණයට සතියක කාලයක් ඉතිරිව තිබියදීය. අගමැතිවරයා ලෙස කටයුතු කරද්දී විදෙස් රාජ්‍ය නායකයන්ගෙන් සහ තානාපතිවරුන්ගෙන් ලැබුණු මිල අධික තෑගි භාණ්ඩ භාණ්ඩාගාරයට ලබා දීම වෙනුවට සිය හිතවතුන් අතර බෙදා දීමෙන් සහ අලෙවි කිරීමෙන් පාකිස්තාන රුපියල් මිලියන 140ක මුදලක් අයුතු ලෙස උපයා ගැනීමේ චෝදනාවට වරදකරු කරමින් ඊයේ ඉස්ලාමාබාද් නුවර දූෂණ විරෝධී අධිකරණය ඔහුට මේ සිරදඬුවම නියම කර තිබේ. ඔහු සමඟ එක්ව එම තෑගි භාණ්ඩ අලෙවි කළ බවට චෝදනා එල්ල වී සිටි ඔහුගේ බිරිය බුෂ්රා බීබීට ද වසර 14ක සිරදඬුවම් නියම කිරීමට ඉස්ලාමාබාද් අධිකරණය පියවර ගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.

ඉම්රාන් ඛාන් වසර 2018 සිට 2022 දක්වා කාලය ඇතුළත පාකිස්තානයේ අගමැතිවරයා ලෙස කටයුතු කළ අතර, එම කාලය තුළ ඔහුට සහ බිරියට විදෙස් රාජ්‍ය නායකයන්ගෙන් සහ තානාපතිවරුන්ගෙන් ත්‍යාග 108ක් ලැබී ඇතැයි ද වාර්තා වේ.

ඉම්රාන්ට සහ බිරියට සිරදඬුවමට අමතරව පාකිස්තාන රුපියල් මිලියන 787ක දඩයක් ද නියම කර ඇති අතර, දෙදෙනාටම වසර 10ක කාලයකට රජයේ කිසිදු තනතුරක් දැරීම ද තහනම් කිරීමට ඊයේ අධිකරණය පියවර ගත් බව වාර්තා වේ.

විදේශීය රාජ්‍යතාන්ත්‍රිකයන්ගෙන් ලැබුණු ත්‍යාග නීති විරෝධීව අලෙවි කිරීමේ චෝදනාව සම්බන්ධ නඩුව ඉම්රාන් සිරගතව සිටින රාවල්පිණ්ඩි නුවර බන්ධනාගාරයේදී ඊයේ විභාගයට ගෙන ඇති අතර, ඔහු විනිසුරු ඉදිරියේ පෙනී සිටිමෙන් පසු සිය ප්‍රකාශය ලබා දෙන ලෙස කළ ඉල්ලීම ඉම්රාන් ප්‍රතික්ෂේප කර ඇතැයි ද වාර්තා වේ.

සිය ප්‍රකාශය සිර කුටියේ ඇති බවත්, තමා කැඳවූයේ විනිසුරු ඉදිරියේ පෙනී සිටීමට පමණක් බවත් ඉම්රාන් ප්‍රකාශ කර තිබේ. අධිකරණයේ කාලය අපතේ නොයවා එම ප්‍රකාශය ඉදිරිපත් කරන ලෙස විනිසුරු ඉල්ලා සිටි මොහොතේ ඉම්රාන් සඳහන් කර ඇත්තේ සිය නීතිඥවරුන් මේ මොහොතේ අධිකරණයේ නැති බවත්, ඔවුන් පැමිණීමෙන් පසු එම ප්‍රකාශය ඔවුන්ට පෙන්වා උපදෙස් ලබා ගන්නා තුරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නොහැකි බවත් ය. අනතුරුව ඉම්රාන් අධිකරණ කුටියෙන් ඉවත්ව ගොස් ඇති අතර, ඔහුට සහ බිරියට වසර 14ක සිරදඬුවම් නියම කර ඇත්තේ ඉන් පසුව බව ද විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT