Home » අපේක්ෂා රෝහලේ පරිපාලන නිලධාරීවරයාට මන්නා ප්‍රහාරයක්

අපේක්ෂා රෝහලේ පරිපාලන නිලධාරීවරයාට මන්නා ප්‍රහාරයක්

by yasara
February 6, 2024 1:35 pm 0 comment

මහරගම අපේක්ෂා  රෝහලේ කාර්යාලයකට මාළු කපන විශාල මන්නයක් රැගෙන කඩා වැදුණු සුළු සේවකයෙකු පරිපාලන නිලධාරීවරයාට එයින්  පහරදී බරපතල තුවාල සිදු කර ඇතැයි මහරගම පොලිසිය කියයි

සැකකාර සේවකයා මන්නයෙන් පහර දෙන අවස්ථාවේදී කාර්යාලයේ රැඳී සිටි සේවිකාවන් පිරිස අතර සිටි සේවිකාවක් ක්ෂණිකව ක්‍රියාත්මක වී  සැකකරුගේ පසු පසින් පැමිණ  බදාගෙන ඇති අතර  සෙසු අය විසින් මන්නය උදුරා ගෙන ඇත.

ඒ සමඟම  පහර දුන් බව කියන සැකකාර  සේවකයා පලා ගොස් තිබෙයි.

සැකකාර සේවකයා පරිපාලන නිලධාරීවරයාට පහරදීමට යොදාගෙන ඇත්තේ මුළුතැන් ගෙයි තිබූ අඩි එකහමාරක් දිග විශාලත්වයෙන් යුත්  මාළු කපන මන්නයක් බවත් එම පහරදීමෙන් පරිපාලන නිලධාරිගේ වම් අතේ මැණික් කටුවට පහළින් බරපතළ තුවාල සිදුවී ඇතැයි පොලිසිය සඳහන් කරයි

බරපතල තුවාල ලද පරිපාලන නිලධාරීවරයාව ඒ මොහොතේම  ශල්‍යකර්මයකට භාජනය කිරීම සඳහා කටයුතු කළ බව රෝහල් ප්‍රකාශකයකු පැවසීය

පලා ගිය සැකකරු මීට පෙර අපේක්‍ෂා රෝහලේ මුළුතැන් ගෙයි සේවය කර ඇති අතර විෂමාචාර ක්‍රියාවක් හේතුවෙන් පරිපාලන නිලධාරීවරයා සැකකරුව වාට්ටු අංක 24 වෙත මාරු කර තිබූ බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත

සැකකරු අද  (6) දින  විවේකිව සිටින අවස්ථාවේදී රෝහල වෙත පැමිණ ඇති බවත් සිදුකළ විමර්ශනවලදී අනාවරණය වී යයි පොලිසිය කියයි

පහරදී තුවාල සිදු කළ පලා ගිය බව කියන සේවකයා පන්නිපිටිය ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකු බවට අනාවරණය වූ බවත් ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ පොලිස්‌ කණ්ඩායමක් යෙදවූ බව උසස් පොලිස් නිලධාරියකු පැවසීය

අපේක්‍ෂා රෝහල තුළදී ශල්‍යකර්මයට  භාජනය කළ බව කියන පරිපාලන නිලධාරීවරයාව වැඩිදුර ප්‍රතිකාර සඳහා කළුබෝවිල ශීක්ෂණ රෝහල වෙත යොමු  කිරීමට කටයුතු කළ බව රෝහල් ප්‍රකාශකයා වැඩිදුරටත් පැවසීය

මහරගම පොලිසියේ  ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ජේ. සි. රාජපක්ෂ මහතාගේ උපදෙස් මත අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක අසංක පතිරණ මහතා ඇතුළු කණ්ඩායමක් පරීක්ෂණ පවත්වයි

 

 

 

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT