Saturday, May 17, 2025
Home » පිණිකහනේ ශ්‍රී සද්ධාතිස්ස නාහිමි 14 වැනි ගුණ සමරුව 12දා

පිණිකහනේ ශ්‍රී සද්ධාතිස්ස නාහිමි 14 වැනි ගුණ සමරුව 12දා

by sachintha
February 6, 2024 12:25 am 0 comment

තණබද්දේගම ශ්‍රී සුභාද්‍රාරාම මහා විහාරාධිපතිව වැඩ සිටි අපවත් වී වදාළ ධර්ම කිර්ති ශ්‍රී ශාසන විභූෂණ ශ්‍රී රාහුල ධම්මානන්දාභිධාන ගාලු මාතර දෙපළාතේ උප ප්‍රධාන අධිකරණ සංඝනායක පිණිකහනේ ශ්‍රී සද්ධාතිස්ස නාහිමිපාණන් වහන්සේගේ 14 වැනි ගුණ සමරුව මේ මස 12 වැනිදාට යෙදේ. මේ ලිපිය ඒ නිමිත්තෙනි.

ගාල්ල දිස්ත්‍රික්කයේ ඇල්පිටිය ප්‍රාදේශීය ලේකම් බලප්‍රදේශයට අයත් කහදුව, පිණිකහන නම් වූ සුන්දර ගම්පියසෙහි 1930 අප්‍රේල් මස 29 වැනිදා නියගම ගෙදර නම් වූ නිවෙසෙහි වාසය කළ චාර්ලස් විතානාච්චි සහ ගුණියංගොඩගේ කලුහාමි මවුපියන්ට දාව මෙලොව එළිය දුටු සයිමන් විතානාච්චි නම් වූ පින්වත් කුමරා වයස අවුරුදු 14දී තණබද්දේගම ශ්‍රී සුභාද්‍රාරාම මහා විහාරය සහ කහදුව පරම විශුද්ධාරාමය යන උභය විහාරාධිපතිව වැඩ සිට බද්දේගම ශ්‍රී ධර්මානන්ද ස්වාමින්ද්‍රයන් වහන්සේගේ ශිෂ්‍යවරයකු ලෙස 1944 සැප්තැම්බර් මස 19 වැනිදා පිණිකහනේ සද්ධාතිස්ස නමින් උතුම් ප්‍රවෘජ්‍යා භූමියට ඇතුළත් විය.

ගෝනගල ශ්‍රී සුධර්මාරාම පිරිවෙනට ඇතුළත්ව ධර්ම විනය ශබ්ද ශාස්ත්‍ර ප්‍රගුණ කළ සද්ධාතිස්ස සාමණේරයන් වහනසේ 1951 මැයි මස 25 වැනිදා මහනුවර මල්වතු විහාරීය මංගල උපෝසථාගාරයේදී උතුම් උපසම්පදාව ලැබූහ. ස්වකීය ගුරුදේවයන් වහන්සේ අපවත්වීමෙන් පසු 1958දී තණබද්දේගම සුභාද්‍රාරාම මහ විහාරස්ථානයේ ආධිපත්‍යයට පත්ව ස්වකීය විහාරස්ථානය සකලවිධ විහාරංගයන්ගෙන් සම්පූර්ණ කරමින් බුද්ධ නියමය අනුව නාහිමිපාණන් වහන්සේ සමාජ මෙහෙවර ආරම්භ කළේ එතැන් සිටයි.

1992දී මහනුවර මල්වතු මහා විහාරීය මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ප්‍රමුඛ කාරක සංඝ සභාවෙන් “ධර්ම කිර්ති ශ්‍රී රාහුල ධර්මානන්ද” යන ගෞරව නාම සම්මුතිය සහිතව ගාලු මාතර දෙදිසාවේ ද්විතියීය අධිකරණ සංඝනායක පදවියෙන් පිදුම් ලැබූහ. උන්වහන්සේ උගත් නැණවත් ශිෂ්‍ය භික්ෂූන් වහන්සේ රැසක් සසුනට දායාද කළහ. වයස අවුරුදු අසූතුනේදී රෝගී තත්ත්වයට පත්වූ නාහිමිපාණන් වහන්සේ ඇල්පිටිය මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී 2010 පෙබරවාරි මස 13 වැනිදා සිහිනුවණින් යුතුව අපවත් වී වදාළහ.

අපවත් වී වදාළ නාහිමිපාණන් වහන්සේගේ 14 වන ගුණ සැමරුම නිමිත්තෙන් තණබද්දේගම ශ්‍රී සුභාද්‍රාරාම මහා විහාරාධිපති ගාලු මාතර දෙපළාතේ උප ප්‍රධාන අධිකරණ සංඝනායක පිණිකහනේ අනෝම නාහිමිපාණන් වහන්සේගේ අනුශාසක පරිදි මේ මස 11 වැනි දින නාහිමි ප්‍රතිමාවට පුෂ්පෝපහාර පවත්වා විශේෂ මල්, පහන්, ගිලන්පස පූජාවක් පවත්වා පසුදින උදෑසන අර්ධ ශතාධික සඟසතු දානයක් පිරිනමා පුණ්‍යානුමෝදනා සිදු කිරීමට විහාරස්ථ දායක සභාව කටයුතු යොදා ඇත.

පිණිකහනේ ශ්‍රී සද්ධාතිස්ස නාහිමිපාණන් වහන්සේට අජරාමර නිවන්සුව අත්වේවා.!!!

වැලිවිටිය දිවිතුර වි.සේ.ස. සමිතියේ අධ්‍යක්ෂ,

සාමවිනිසුරු සුනිල් ශාන්ත ගුරුසිංහ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT