Home » මව-පියා-දියණිය ගමන් ගත් ත්‍රීවීලරය බස් රථයේ ගැටෙයි මව මියගොස් දැරියට බරපතළයි

මව-පියා-දියණිය ගමන් ගත් ත්‍රීවීලරය බස් රථයේ ගැටෙයි මව මියගොස් දැරියට බරපතළයි

by sachintha
February 6, 2024 3:28 am 0 comment

එකම පවුලේ මව, පියා හා තුන් හැවිරිදි දියණිය ගමන් ගත් ත්‍රිරෝද රථයක් හොරණ – පාණදුර මාර්ගයේ කුළුපන ප්‍රදේශයේදී ලංගම බස් රථයක් හා ගැටීමෙන් මව මියගොස් දැරිය හා පියා බරපතළ තුවාල ලබා ඇතැයි හොරණ මූලස්ථාන පොලිසිය පවසයි. අනතුරින් මියගොස් ඇත්තේ බණ්ඩාරගම රයිගම කොස්වත්තපාර පදිංචිව සිටි 40 හැවිරිදි ආර්.ඒ. තනූජා ප්‍රියදර්ශනී නැමැති එක්දරු මවකි. මවුපියන් දෙදෙනා සිය එකම දියණියගේ අවශ්‍යතාවයක් සඳහා හොරණ නගරයට ත්‍රිරෝද රථයෙන් පැමිණ යළි නි‍ෙවස කරා යමින් සිටියදී මෙම අනතුර සිදුවී ඇතැයි පොලිසිය පැවසීය. ත්‍රිරෝද රථය හොරණ සිට බණ්ඩාරගම දෙසට ගමන් කිරීමේ දී මාර්ගයේ පිටුපස සිටි මියගිය කාන්තාව සැමියා අමතා ඔන්න බස් එකක් එනවා. යැයි පැවසීමත් සමඟම ඔහු එකවරම ත්‍රිරෝද රථය වමට හැරවීමේදී ත්‍රිරෝද රථය මාර්ගයේ වට දෙකක් පෙරළී මීටර් කීපයක් ඉදිරියට ඇදී ගොස් පාණදුර සිට ඇඹිලිපිටිය දක්වා ගමන් ගත් ඇඹිලිපිටිය ඩිපෝවට අයත් බස් රථයේ ඉදිරි දකුණු පස බෆරයේ ගැටී නතර වී ඇතැයි පොලිසිය පවසයි.

අනතුර සිදුවූ වහාම ප්‍රදේශවාසීන් විසින් මව, පියා සහ කුඩා දැරිය හොරණ මූලික රෝහල වෙත ඇතුළත් කරන විටත් මව මියගොස් සිටි බව රෝහල් ප්‍රකාශකයකු පැවසීය.

තුවාල ලද දැරියගේ තත්ත්වය බරපතළ බැවින් මූලික ප්‍රතිකාර ලබාදී ගිලන් රථයකින් ඒ මොහොතේම කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහල වෙත පිටත් කර හැරිය බව රෝහල් ප්‍රකාශකයකු පැවසීය.

ත්‍රිරෝද රථය පැදවූ පියාගේ දකුණු අතට ගෙලට සහ පපුවට තුවාල සිදුවී ඇතැයි රෝහල් ප්‍රකාශකයා වැඩිදුරටත් පැවසීය. ලංගම බස් රථ රියැදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර හොරණ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.

බණ්ඩාරගම – බිමල් ජයසිංහ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT