කුඩා දරුවන් හට විවිධ ලෙඩ රෝග සැදීමට මඟ පාදන මෙවැනි නිෂ්පාදන සිදු කර නැවත අධිකරණය ඉදිරියට පැමිණිය හොත් මුළු අධ්‍යක්ෂක මණ්ඩලයම කැඳවා සිර දඩුවම් නියම කරන බවට තරයේ අවවාද කරමින් පොලිතින් කැබලි සහිත සෝසේජස් කරලක් නිෂ්පාදනය කර බෙදා හැරීම කළ බවට වරද පිළිගත් විත්තිකරුවකුට අත්තනගල්ල අංක 02 මහේස්ත්‍රාත් මංජුල කරුණාරත්න මහතා ඉකුත් (02) පස්වරුවේ රුපියල් විසි දහසක දඩ නියම කළේය.
නාත්තන්ඩිය පාර මාරවිල ජය ෆාම් නැමති ආයතනයෙහි ඇන්. ඒ. කේ. චාමර නිශ්ශංක නැමැත්තෙකු ට එසේ තරයේ අවවාද කර දඩ නියම කැරිණි.
එම සොසේජස් කරල සහිත බනිස් ගෙඩියක් විකිණීම කළ බවට වරද පිළිගත් දංඕවිට නාඔලිවුස් හෝටලයෙහි කේ. පී. බී. අබේවීර නැමැත්තෙකුට රුපියල් දස දහසක දඩ නියම කැරිණි.
විත්තිකාර හෝටලයෙන් දරුවකුට කෑමට දීම සඳහා මිල දී ගත් සොසේජස් කරලක් සහිත බනිස් ගෙඩියක සොසේජස් කරල ඇතුළත පොලිතින් කැබලි තිබූ හෙයින් දංඕවිට මහජන සෞඛ්‍ය පරීක්ෂක ඇස්. ඇම්. ඇස්. සිරිවර්ධන මහතා ප්රමුඛ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් පිරිසක් විසින් විත්තිකාර ව්‍යාපාරිකයන් දෙදෙනාට එරෙහිව නඩු පවරා තිබුණි.
එම නඩුව ඉකුත් 02 වැනි දා පස්වරුවේ නැවත කැඳවූ අවස්ථාවේ විත්තිකාර ව්‍යාපාරිකයන් දෙදෙනා චෝදනාවලට වරද පිළිගත් අවස්ථාවේ මහේස්ත්‍රාත්වරයා විවෘත අධිකරණය ඉදිරියේ කරුණු දක්වමින් අහිංසක ජනතාවගේ දරුවන් ආසාවට ආහාරයට ගැනීම සඳහා සොසේජස් බනිස් මව් පියන්ගෙන් ඉල්ලා සිටින බව කියා සිටියේය.
එසේ දරුවන්ගේ ඉල්ලීමට අනුව මව් පියන් සොසේජස් බනිස් මිල දී ගෙන දරුවන්ට ආහාරයට දීම නිතර සිදුවන බවත් මේ අයුරින් අප ද්‍රව්‍යය සහිත බනිස් ඇතුළු ආහාර කෑමට ගන්නා කුඩා දරු දැරියන් පිළිකා වැනි විවිධ ලෙඩ රෝගවලට ගොදුරු වන බවත් මින් ඉදිරියට මෙවැනි චෝදනා යටතේ අධිකරණය ඉදිරියට පැමිණියහොත් නිෂ්පාදන සමාගමේ මුළු අධ්‍යක්ෂක මණ්ඩලයම අධිකරණය ඉදිරියට කැඳවා සිර දඩුවම් නියම කරන බවට විත්තිකාර සමාගම වෙනුවෙන් පෙනී සිටි විත්තිකාර ව්‍යාපාරිකයාට මහේස්ත්‍රාත්වරයා එසේ තරයේ අවවාද කළේය.
විත්තිය වෙනුවෙන් නීතීඥ රුක්මන් සිල්වා මහතා කරුණු දක්වමින් අත් වැරදීමකින් මේ සිද්ධිය සිදු වී ඇති බවත් මින් ඉදිරියට මෙවැනි දෙයක් සිදු නොවීමට නිෂ්පාදන සමාගම වග බලා ගන්නා බවට පොරොන්දු වන බවත් කියා සිටියේය.
දෙපාර්ශ්වයේ කරුණු දැක්වීම්වලින් අනතුරුව එසේ විත්තිකාර ව්‍යාපාරිකයින් දෙදෙනාට දඩ නියම කෙරිණි.
විත්තිය වෙනුවෙන් නීතීඥ රුක්මන් සිල්වා මහතා පෙනී සිටියේය.
දංඕවිට මහජන සෞඛ්‍ය පරීක්ෂක ඇස්. ඇම්. ඇස්. සිරිවර්ධන මහතා පැමිණිල්ල මෙහෙය විය.
වේයන්ගොඩ විශේෂ වාර්තාකරු