Monday, June 17, 2024
Home » ඡන්දයේ ආනන්දය දුටුවාද…?

ඡන්දයේ ආනන්දය දුටුවාද…?

by sachintha
February 8, 2024 1:00 am 0 comment

ඡන්දය වූ කලී ආනන්දයකි. එය දේශපාලන සහ නෛතික අවශ්‍යතාවයක් වන අතර ඊට එහා ගිය ආනන්දනීය තත්ත්වයක් ජනතාවට ගෙන ගියේය. පනහේ දශකයේ ඡන්ද කළ හැටි ගැන අපේ වැඩිහිටි පරම්පරාව මතකය දිග හරින විට, ඒ කාලයට ගොස් ඡන්ද කරන්නට හිතෙන්නේය. ගෙයක් ගානේ කැන්වසින් යමින්, පොකට් මීටින් පවත්වා, පෝස්ටර් අලවා එදා ඡන්දය සඳහා පූර්වයෙන් පිරිස් වැඩ කළෝය. වලි බාල්දි ආදිය ද නැතිවා නොවේ. එහෙම අවුල් ඕනෑම කාලයක ඇත්තේය. ඡන්දය දමා මහ රෑ ජාමේ, ගුවන් විදුලියෙන් ප්‍රතිඵල අසන වැඩිහිටියෝ ‘මෙන්න තවත් ඡන්ද ප්‍රතිඵලයක්’ යැයි කියමින්, එක දිගට පාන්දර වන විට එන ප්‍රතිඵල අනුව, කලින්ම අවසන් ප්‍රතිඵලය අනුමාන කරන්නාහ.

පෙරේදා පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේදී, 2024 වසර සඳහා වන අය වැය ඇස්තමේන්තු මඟින් මේ වසරේ ජනාධිපතිවරණය සහ මහමැතිවරණය සඳහා රුපියල් කෝටි 1000ක් වෙන් කර ඇති බව දැනුම් දුන්නේය. ඒ කියන්නේ බඩු ෂුවර්ය. පළාත් පාලන මැතිවරණය කල් දැමීමට සිදු වූයේ ආර්ථික අතින් බංකොලොත් වී සිටි රටට, අන් සරණක් නැති නිසාය. යම් සේ ඒ මොහොතේ පළාත් පාලන මැතිවරණය තිබ්බේ නම්, මේ මහමැතිවරණය සහ ජනාධිපතිවරණය සඳහා කෝටි සියයේ ඒවා, වෙන් කරන්නට සිදු වන්නේ නැත. එහෙම බලා සිදු කළ ආයෝජන හේතුවෙන් දැන් මැතිවරණ දෙකක් පැවැත්වීම සඳහා සල්ලි රෙඩිය.

පාකිස්ථාන මහමැතිවරණය පැවැත්වෙන්නේ අදය. ආර්ථික අර්බුද මධ්‍යයේ සහ එයටම ගැට ගසාගත් දේශපාලන අර්බුද දහසක් අස්සේ, පාකිස්ථානය නව පාර්ලිමේන්තුවක් පත් කර ගැනීමට නියමිතය. පෙබරවාරි විසි පස් වෙනිදා පැවැත්වීම සඳහා සූදානම් කර තිබූ සෙනගල් ජනාධිපතිවරණය, කල් දැමීමට ජනාධිපති මැකී සෝල් තීරණය කර තිබේ.

මේ උදාහරණ දෙකේ සිට ගත් වන 2024 යනු මුළු ලෝකයටම මැතිවරණ වසරකි.

එක්සත් ජනපදය, රුසියාව සේම, ඉන්දියාවත් මේ වසරේ මැතිවරණ සඳහා යොමුවිය යුත්තේය.

ඉන්දියාවේ ඉලෙක්ෂන් කියන්නේ සෙල්ලම් නැත. ලෝකයේ විශාලම ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයේ මහමැතිවරණය හෙවත් ලෝක් සභා මැතිවරණයට, කාන්තාවෝ කෝටි 47ක් ඇතුළුව කෝටි 96කට අධික පිරිසක් ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලබා ඇත්තාහ. සමස්ත ඉන්දියාව පුරා ඡන්ද මධ්‍යස්ථාන ලක්ෂ 12කට අධික ප්‍රමාණයක් මේ ඡන්ද හිමිකම වෙනුවෙන් පිහිටුවා තිබේ.

ඉන්දීය මැතිවරණ කොමිෂන් සභා දත්තයන්ට අනුව, ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලබා ඇති පිරිසෙන්, කෝටි 1.73කට වැඩි ප්‍රමාණයක් වයස අවුරුදු 18ත් 19ත් අතර වයස් කාණ්ඩවල පසු වන්නන් හෙවත් ‘ෆ්‍රෙෂ් වෝට්’ කාණ්ඩයට අයත්ය.

ඔහොම ලෝක සිතියමේ වැදගත් හැම තැනකම ප්‍රධාන මැතිවරණ පැවැත්වීමට නියමිත හෙයින් මේ වසරේ, ලෝකය කැරකෙනු ඇත්තේ ද ඡන්දය වටා බව කිව හැක්කේය.

වැඩේ කියන්නේ මේ කිසිම ඡන්දයක, ආනන්දය දැන් අඩු එකය. ආනන්දය නැතිවූ කල්හි එය බර වෙන්නේ ප්‍රචණ්ඩත්වයට හෝ අතිශය උදාසීන තත්ත්වයකටය. එහෙම උද්‍යෝගිමත්භාවයකින් තොර ඉවෙන්ට් එකක් කියන්නේ, ජනතා සහභාගිත්වය ඇල්මැරුණු ඉසව්වක් බවය. ඕනෑම අයෙක් බලයට ආවා කියා අවුලක් නැත්තේය. මේ ආනන්දය, ඡන්දයේදී හිඟවීමට ඉඩ නොදිය යුත්තේය.

කලක් මැතිවරණ කොමසාරිස්ධුරය දරන ලද්දේ චන්ද්‍රානන්ද ද සිල්වාය. ඒ වෙලාවේ, පත්තරයක හෙඩිමක් වූයේ ‘ඡන්දය ආනන්දයක් කර ගත් චන්ද්‍රානන්ද’ කියාය. ඒ වුණාට මේ රටේ ආනන්දනීයමැ මැතිවරණ කොමසාරිස් තෙමේ වූයේ, මහින්ද දේශප්‍රියහුය. කතා බහ උපන් ගම වූ අම්බලන්ගොඩ තාලයටය. උදාහරණ සඳහා ගන්නේ ද ගමය. වචන දහයක් කතා කළ කල්හි, අටක්ම ධර්මාශෝක විද්‍යාලය ගැනය. උග්‍ර ක්‍රිකට් රසිකයෙක් බැවින්, ඉලෙක්ෂන් සඳහා වුවද උදාහරණයට ක්‍රිකට් ගන්නේය. අතීත මැතිවරණ තොරතුරු, දේශපාලන විස්තර ආදිය කටපාඩම්ය. නීතිය ආදිය ද ‘පොත ඔළුවේ තියාගෙන’ පෙරළන හෙයින් වාක්‍ය ඛණ්ඩ එහෙම්මම කියාගෙන යා හැකි මට්ටමක තිබේ. ඒ වූ කලි ඡන්දයේ ආනන්දයය. නිලධාරී මට්ටමේදී වෙනදා කිව්වේ ප්‍රචණ්ඩත්වය වෙනුවට ඡන්දය කියාය. දැන් ඡන්දය එන්නේ ද ප්‍රචණ්ඩ ස්වරූපයෙනි. ඡන්ද ප්‍රතිඵල ආ පසුව මෙන්ම ඡන්ද කාලයට ද ප්‍රචණ්ඩ ක්‍රියා වාර්තා වන්නේය. අවුල් නැති, ඡන්ද ඇත්තේ නැත. එහෙත්, ඉලෙක්ෂන් ගැම්ම සිඳී ගිලී නොගිය මැතිවරණ කාලයක් පවත්වාගෙන යෑම වූ කලි ප්‍රජාතන්ත්‍රවාදය රසවිඳීමකි. එහෙව් වින්දනයක් කරා යනවා කියන්නේ සමාජයට දේශපාලන රහක් ඇතැයි කියන එකය. දැන් වී ඇත්තේ දෙසිය විසිපහ උදේ හවා ‘හක්කේ තබා සෙම’ හැර ඡන්දයට යනවා කියන්නේ සමාජයට හිත් දෙන්නේ වැඩේ අල බවටය. අපේ ඡන්දයෙන් උන් ගොඩ යනවා වැනි හැඟීමක් මත්තේ ඡන්දයකට සූදානම් වෙනවා කියන්නේ ආනන්දය ‘එකසිය අසූවකින්’ කැරකී වෛරය කියන ලක්ෂ්‍යය ස්පර්ශ කරනවා කියන එකය. එහෙම තැනක ඡන්දය නොව බූන්දි වැනි පැණි රහ යමක් තිබ්බා කියන්නේද වලියකි.

මැතිවරණ වසර වනාහි අලුත් රහක් සමඟ යා යුතු කාලයකි. ඒ රහ සහ ලේ රහ අතර වෙනසක් තිබේ. ලේ රහ හුරු එකා, ඡන්දය දැමුවා කියා, ඔළුව වැට ඉන්නේ ගැසූහ. ග්‍රාම සේවක මරා විප්ලව කළහ. මතවාද සඳහා ‘යදමින් බැඳ විලංගු ලා’ ප්‍රතිචාර දැක්වූහ. එහෙම කාලයක් ගෙවී වැඩේ නෝණ්ඩි වී, දේශපාලනයට බැස්සේ නමුදු ‘රහ අමතක’ නැති හෙයින් අවස්ථාව ලද්දේ පමණ, අනෙක් කඳවුරේ ගෙවල් ගිනි තබා ‘සාමකාමීව’ ජයග්‍රහණය සැමරූහ. එහෙව් එකා ඡන්දය ආනන්දයක් කර ගන්නවාට අවුල්ය. ‘මේ ඉලෙක්ෂන් කාලේ – හිනා වෙයන් රාලේ’ කියා ඡන්දයට පාවඩ එළීම දැන් තබාම අප කළ යුත්තේ, එය ‘ප්‍රජාතන්ත්‍රවාදයේ නියම රස’ නිසාය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT

Hutch Hutch
x