Friday, May 16, 2025
Home » දරු දෙන්නාට පහර දී වීඩියෝව සමාජ මාධ්‍යයේ දැමූ තාත්තාට වැඩ වරදී

දරු දෙන්නාට පහර දී වීඩියෝව සමාජ මාධ්‍යයේ දැමූ තාත්තාට වැඩ වරදී

by sachintha
February 8, 2024 12:37 am 0 comment

තම දරුවන් දෙදෙනාට අමානුෂික ලෙස පහර දී එය විඩියෝගත කර සමාජ මාධ්‍යයට එක් කළ දරුවන්ගේ පියා ඊයේ (07) අත්අඩංගුවට ගත් බව දිඹුල පතන පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ආනන්දසිරි මහතා පැවසීය.

දිඹුල පතන පොලිස් වසමේ වතුයායක පිහිටි බිරියගේ නිවෙසේ පදිංචිව සිටින 33 හැවිරිදි සැකකාර පියා ඉකුත් 05 වැනි දින රාත්‍රියේ නිවෙසේදී තම අවුරුදු 09 සහ 05 වන දරුවන් දෙදෙනාට පහර දී ඇති බවත්, සැකකරුගේ බිරිය ගෘහ සේවය සඳහා විදේශගතව ඇති බවත් පොලිස් ස්ථානාධිපතිවරයා කියා සිටියේය. දරුවන් දෙදෙනා මිත්තණිය භාරයේ සිට ඇති අතර, සැකකරු කොළඹ ප්‍රදේශයේ වාහන පිරිසිදු කිරීමේ මධ්‍යස්ථානයක සේවය කරන අයකු බවත්, දරුවන් දෙදෙනා පියාගේ උපදෙස් නොපිළිපදින බැවින් සැකකරු දරුවන් දෙදෙනාට අතින් පහරවල් කිහිපයක් ගසා ඇති බවට දැනට කරන ලද මූලික පරීක්ෂණවලදී අනාවරණය වී ඇත.

සැකකරු ලිඳුල පොලිස් වසමට අයත් නාගසේන ප්‍රදේශයේ පිහිටි ඔහුගේ නිවෙසේ දරුවන් දෙදෙනා සමඟ රැඳී සිටියදී අත්අඩංගුවට ගෙන සැකකරු සහ දරුවන් දෙදෙනා වැඩිදුර විමර්ශන කටයුතු සඳහා දිඹුල පතන පොලිසිය වෙත භාර දී තිබේ. ලිඳුල පොලිසිය සැකකරු අත්අඩංගුවට ගෙන ළමුන් දෙදෙනා පොලිස් භාරයට ගත් අවස්ථාවේ ළමුන් නිරාහාරව සිටි බැවින් ළමුන් දෙදෙනාට ආහාර පාන ලබා දීමට ලිඳුල පොලිසියේ නිලධාරීන් පියවර ගෙන තිබිණ. පොලිස් භාරයට ගත් දරු දෙදෙනා දික්ඔය මූලික රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කර සැකකරු හැටන් මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරන බව දිඹුල පතන පොලිසියේ ස්ථානාධිපතිවරයා වැඩිදුරටත් පැවසීය.

හැටන් – රංජිත් රාජපක්ෂ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT