Friday, May 16, 2025
Home » කොළඹ කොටස් වෙළෙඳපොළේ දෛනික පිරිවැටුම බිලියන 12.19ක්

කොළඹ කොටස් වෙළෙඳපොළේ දෛනික පිරිවැටුම බිලියන 12.19ක්

by sachintha
February 8, 2024 12:28 am 0 comment

ලොව ඉහළ කාර්ය සාධනයක් වාර්තා කර තිබෙන කොටස් වෙළෙඳපොළවල් අතර පසුවන කොළඹ කොටස් වෙළෙඳපොළ සිය දෛනික ගනු-දෙනු අවසානයේ රුපියල් බිලියන 12.19ක පිරිවැටුමක් වාර්තා කිරීමට ඊයේ (07) සමත්විය.

ඊයේ දිනයේ ගනු-දෙනු ආරම්භ කොට මිනිත්තු පහක් වැනි කාලයක් ඇතුළත පිරිවැටුම රුපියල් බිලියන 11 සීමාව ඉක්මවා ගොස් තිබෙන අතර ගනු-දෙනු ආරම්භ වී පළමු මිනිත්තුව ඇතුළත ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් පීඑල්සී හි දැවැන්ත කොටස් ගනු-දෙනුවක් සිදුකරමින් ඒ හරහා රුපියල් බිලියන 11.28ක පිරිවැටුමක් වාර්තා වූ බව කොළඹ කොටස් වෙළෙඳපොළ පවසයි.

ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් පීඑල්සී හි 7 වැනි ස්ථානයට විශාලතම කොටස් හිමියා වූ Citigroup Global Markets Limited Agency Trading Prop Securities A/C විසින් තමන් සතුව තිබූ 61,904,939ක කොටස් ප්‍රමාණයක් මෙහි දී අලෙවි කර තිබෙන අතර එය ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් හි ප්‍රකාශිත ප්‍රාග්ධනයෙන් සියයට 4.5ක ප්‍රමාණයක් බව ද එම වෙළෙඳපොළ සඳහන් කරයි.

මෙය Citigroup Global Markets Limited Agency Trading Prop Securities A/C හි අභ්‍යන්තර කොටස් හුවමාරුවක් බව කොටස් වෙළෙඳපොළ ආරංචි මාර්ග සඳහන් කරන අතර මෙය විදෙස් පාර්ශ්ව දෙකක් අතර සිදුවූ ගනුදෙනුවක් බවට ද වාර්තා වෙයි.

මේ අතර ඊයේ දින සිය දෛනික ගනු-දෙනු අවසාන වනවිට කොළඹ කොටස් වෙළෙඳපොළේ සමස්ත මිල දර්ශකය ඒකක 10,527.98ක් වාර්තා වූ අතර එය ඒකක 2.59ක ඉහළයාමක් බව ද පෙර දිනයට සාපේක්ෂව සියයට 0.02ක වර්ධනයක් බව ද කොළඹ කොටස් වෙළෙඳපොළ සඳහන් කරයි. ඊට අමතරව S&P SL20 මිල දර්ශකය ඒකක 2,996.92ක් ලෙස වාර්තා වූ අතර එය ඒකක 4.04ක ඉහළ යාමකි. පෙර දිනයට සාපේක්ෂව එය සියයට 0.13ක වර්ධනයක් ද වෙයි.

ජයසිරි මුණසිංහ සහ මහින්ද අලුත්ගෙදර

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT