Friday, May 16, 2025
Home » පිළියන්දල නි‍ෙවසක සිදුවූ පිපිරීමකින් බරපතළ තුවාල ලැබූ දැරිය මියයයි

පිළියන්දල නි‍ෙවසක සිදුවූ පිපිරීමකින් බරපතළ තුවාල ලැබූ දැරිය මියයයි

by sachintha
February 8, 2024 12:32 am 0 comment

පිළියන්දල, මාවිත්තර කනත්ත පාර නි‍ෙවසක නීති විරෝධී ලෙස ගිනිකෙළි නිෂ්පාදන සිදු කිරීමේදී සිදු වූ හදිසි පිපිරීමකින් බරපතළ තුවාල ලබා කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි 11 හැවිරිදි දැරිය මියගිය බව පිළියන්දල පොලිසිය කියයි.

ඉකුත් දෙසැම්බර් 31 වෙනි දින මෙම පිපිරීම සිදුවී තිබූ අතර එයින් මාසයකුත් දින පහකට පසු දැරිය මිය ගොස් තිබිණි. සිද්ධියෙන් මියගොස් තිබුණේ කොළඹ දේවි බාලිකා විද්‍යාලයේ 6 වන වසරේ අධ්‍යාපනය ලබමින් සිටි දීප්තිමත් ශිෂ්‍යාවක් වූ ගිසා හිමන්සි (අවුරුදු 11 මාස 5) නමැති දැරියයි.

ඇය එම ආයතනයේ හිමිකරුගේ එකම දියණිය මෙන්ම බාලම දරුවායි. ඉකුත් දෙසැම්බර් 31 සිදු වූ මෙම පිපිරීමෙන් හිමිකරු හා ඔහුගේ දෙවැනි පුතු කළුබෝවිල ශික්ෂණ රෝහල වෙත ඇතුළත් කෙරිණි.

එම අවස්ථාවේදී වැඩිමහල් පිරිමි දරුවා නිවසින් බැහැරට ගොස් තිබූ බවත් හිමිකරුගේ බිරිඳ පිපිරීමට ඔන්න මෙන්න කියා තිබියදී හිමිකරු විසින් නි‍ෙවසින් පිටතට යවා තිබිණි.

නිෂ්පාදනය කරන ලද ගිනිකෙළි සවි වීම සඳහා ක්‍රියාත්මක කර තිබූ ප්ලෑෂරයකට එල්ල වූ අධික විදුලි ධාරාව හේතුවෙන් මෙම ගින්න හටගෙන ඇති බව පොලිසිය සිදු කළ මූලික විමර්ශනවලදී අනාවරණය විය.

ඇති වූ ගින්නෙන් නි‍ෙවසේ තිබූ ගෘහ භාණ්ඩවලට සහ යතුරුපැදියකට සහ ගිනි කෙළිවලට මෙන්ම ගිනිකෙළි නිෂ්පාදන අමුද්‍රව්‍යවලට දැඩි අලාභ සිදු විය.

මියගිය දැරියගේ අවසන් කටයුතු පිළියන්දල, දොලේකනත්ත පොදු සුසාන භූමියේදී සිදුකිරීමට නියමිතව තිබුණි.

ගල්කිස්ස කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මංගල දෙහිදෙණිය, සහකාර පොලිස් අධිකාරි ඩී. එම්. එම්. එල්. වික්‍රමසිංහ මහත්වරුන්ගේ උපදෙස් මත පිළියන්දල පොලිසියේ වැඩ බලන ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සංජීව අලුත් ගෙදර, පොලිස් සැරයන් (43732) සුනෙත් මහත්වරු පරීක්ෂණ පවත්වති.

බණ්ඩාරගම – බිමල් ජයසිංහ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT