Home » ජෝන් කීල්ස් සමූහයේ පෝෂණ වැඩසටහන යටතේ දරුවන්ගේ අධ්‍යාපනය හා පෝෂණය වැඩිදියුණු කිරීමේ මෙහෙවරට වසරක් සපිරේ

ජෝන් කීල්ස් සමූහයේ පෝෂණ වැඩසටහන යටතේ දරුවන්ගේ අධ්‍යාපනය හා පෝෂණය වැඩිදියුණු කිරීමේ මෙහෙවරට වසරක් සපිරේ

by manjula
February 10, 2024 1:00 am 0 comment

2022 වසරේ අගෝස්තු මාසයේදී ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වීමෙන් අනතුරුව, එක්සත් ජාතීන්ගේ ජාත්‍යන්තර ළමා අරමුදල හෙවත් යුනිසෙෆ් හි දකුණු ආසියානු කලාපීය අධ්‍යක්ෂ ජෝර්ජ් ලැරියා- ඇඩ්ජේ මහතා මෙසේ පැවසීය. “ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් අඩකට වැඩි ප්‍රමාණයකට කිසියම් ආකාරයකට හදිසි සහන අවශ්‍යයි. දරුවන්ගේ අධ්‍යාපනය වසර දෙකක කාලයක් පුරා විවිධාකාර බාධාවන්ට ලක් වූ අතර, දරුවන් පාසල් වෙත නොපැමිණීම නිසා මෙය තවදුරටත්

ගැටලුවක් ලෙස පවතිනවා. දැනට පවතින අර්බුදය නිසා දරුවන්ගේ අධ්‍යාපනයට කිහිප අයුරකින් බාධා එල්ල වී තිබෙන බව පැහැදිලියි. අර්බුදයට පෙර ඔවුන්ට පාසලෙන් ලැබුණු උණුසුම් හා පෝෂ්‍යදායී ආහාරපාන තවදුරටත් ඔවුන්ට ලැබෙන්නේ නැහැ.”

ශ්‍රී ලංකාවට ආර්ථික අර්බුදයට මුහුණ දීමට සිදු වූ මුල් කාලයේදීම ජෝන් කීල්ස් සමූහය විසින් සෞඛ්‍ය හා පෝෂණය, අධ්‍යාපනය සහ ජීවනෝපාය මාර්ග සංවර්ධනය යන ප්‍රධාන අංශ තුන යටතේ බහුවිධ අර්බුද ප්‍රතිචාර වැඩසටහනක් ක්‍රියාවට නංවන ලදි. මෙහි සෞඛ්‍ය හා පෝෂණය අංශය යටතේ අධ්‍යාපන අමාත්‍යාංශය සමග එක් වී ‘පාසල් දිරිය’ නමින් පෝෂණ වැඩසටහනක් ක්‍රියාවට නැංවීමට ජෝන් කීල්ස් සමූහ ව්‍යාපාරය කටයුතු කළේ ය. ලෝක ළමා දිනය සැමරීමක් වශයෙන් 2022 ඔක්තෝබර් 03 දින නිල වශයෙන් දියත් කරන ලද මෙය, පසුගිය වසරක කාලය තුළ දිවයින පුරා දරුවන් දහස් ගණනකට සෙත සැලසූ වැඩසටහනක් විය.

මෙම වැඩසටහන මෙහෙයවන ලද්දේ ජෝන් කීල්ස් සමූහ ව්‍යාපාරයේ ප්‍රජා සත්කාර අංශය වන ජෝන් කීල්ස් පදනම විසිනි. ජෝන් කීල්ස් සමූහයට අයත් Ceylon Cold Stores (Elephant House), Cinnamon Hotels & Resorts, Jaykay Marketing Services (Keells) සහ John Keells Properties යන සමාගම් ඊට සක්‍රිය ලෙස දායක විය. මෙම වැඩසටහනේ විශේෂත්වයක් වන්නේ, හුදෙක් දරුවන්ට පෝෂණීය ආහාර ලබා දීමෙන් නොනැවතී, පාසලට පැමිණීමට ඔවුන් දිරිගැන්වීම, අධ්‍යාපනික හා විෂය බාහිර ක්‍රියාකාරකම්වල යෙදීමට ඔවුන් යොමුකරවීම සහ සමස්තයක් ලෙස ඔවුන්ගේ යහපැවැත්ම පිළිබඳව සැලකිලිමත් වීම ය.

එමෙන්ම තම මහජන දායකත්ව අරමුදල් (Crowd funding) පදනම හරහා පාරිභෝගිකයන්ගේ සහ පරිත්‍යාගශීලීන්ගේ නොමසුරු දායකත්වය ලබාගැනීමෙන් මෙන්ම, තම ප්‍රධාන හවුල්කරුවෙකු වන සර්වෝදය ඇතුළු විවිධ හවුල්කරුවන්ගේ සහයෝගය සමඟින් තම ‘Keells ළමා පෝෂණ වැඩසටහන’ තවදුරටත් ශක්තිමත් කිරීමට කීල්ස් සමාගමට හැකියාව ලැබිණි. ආරම්භයේ සිට මේ දක්වා මෙම පෝෂණ වැඩසටහන නැඟෙනහිර, දකුණ සහ බස්නාහිර යන පළාත්වල තෝරාගත් පාසල් 12ක පාසල් හා පෙර පාසල් දරුවන් මෙන්ම මධ්‍යම, උතුරු මැද, වයඹ, සබරගමුව, දකුණු සහ බස්නාහිර යන පළාත්වල පෙර පාසල් 34ක දරුවන් 4,187 දෙනකු සඳහා ආහාර වේල් 469,812ක් ලබා දී ඇත. මීට අමතරව දරුවන් වෙනුවෙන් පෝෂ්‍යදායී ආහාර පිළියෙල කිරීම පහසු කිරීම සඳහා පාසල් 10ක නිසි පහසුකම් සහිත මුළුතැන්ගෙවල් ඉදිකිරීම සහ ප්‍රජා උද්‍යාන 31ක් ස්ථාපිත කිරීම ඇතුළුව සමස්ත ව්‍යාපෘතිය සඳහා මේ දක්වා ආයෝජනය කර ඇති මුදල රු. මිලියන 52 ඉක්මවයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT