Home » දෙවනපෑතිස් රජ සමයේ ශිලාලිපියක් වගේ

දෙවනපෑතිස් රජ සමයේ ශිලාලිපියක් වගේ

by manjula
February 10, 2024 1:00 am 0 comment

‘ඔබේ ආදරේ දෙවනපෑතිස් රජ සමයේ ශිලාලිපියක් වගේ’ යැයි මහාචාර්ය සුනිල් ආරියරත්න ගේය පද රචනයක් කළේය. ගැයුම මර්වින් පෙරේරාගෙන්ය. ආදරය ශිලාලිපියකට උපමා කරන ලද්දේ ‘ගලේ කෙටුවා වගේ සදාතනිකයි’ කියන්නටය. එහෙම සෙල්ලිපියක් ගැන පෙරේදා ශාස්ත්‍රීය අනාවරණයක් සිදු විය. මෙරටින් හමු වූ විශාලතම සෙල්ලිපිය දිඹුලාගල කන්ද මුදුනෙන් හමුවූ ගලේ කෙටූ ලේඛනයය. ඒ පිළිබඳව ඊයේ විශේෂ අනාවරණ රාශියක් සිදු විය. මෙම සෙල්ලිපිය අයත් වන්නේ ක්‍රි.පූ. දෙවැනි සියවසට හෝ ඊට ආසන්න කාලයටය.

සෙල්ලිපිය පිළිබඳව කතාව අවබෝධ කර ගැනීම සඳහා මේ කාලයේ රාජ්‍ය පාලනය ගැන ‘බේසික් නොලේජ්’ එකක් වුවමනාය. දේවානම්පියතිස්ස මහ රජ තෙමේ, මේ රටේ රාජ්‍ය විචාරන්නේ, ක්‍රි. පූ. 307 සිට ක්‍රි.පූ. 267 කාලය දක්වාය. මුටසීව රජුගේ ඇවෑමෙන් සිහසුන දරන ලද එතුමා, ක්‍රි.පූ. 267 වර්ෂයේ මියැදෙන්නේය. ඉන් පසු උත්තිය මහරජතුමා සිංහාසනාරූඪ වන්නේය. ක්‍රි.පූ. 267 සිට ක්‍රි.පූ. 257 දක්වා රජකම් කළ ඔහු දෙවනපෑතිස් රජුගේ සහෝදර‍ෙයකි. ක්‍රි.පූ. 257 සිට මහාසිව රජු, සකල සිරිලකට රජකම් කර, ක්‍රි.පූ‍. 247 දී සිය රාජ ඉනිම නිමා කළේය. අනතුරුව වසර දහයක කාලයක් සූරතිස්ස මහ රජු රට පාලනය කළේය. සටනේ දී සූරතිස්ස රජු පරාජය කරමින් සේන සහ ගුත්තික නම් අශ්ව වෙළඳුන් දෙදෙනෙක් මේ රට ආක්‍රමණය කරන්නේ, ක්‍රි.පූ. 237 දීය. ක්‍රි.පූ. 215 දී ආක්‍රමණික කාලය නිමා වන්නේය. මුටසීව රජුගේ පුත්‍රයා ලෙස සඳහන් අසේල බලයට පැමිණෙන්නේ ඉන් අනතුරුවය.

ඉතිහාසයේ මේ කාල රාමුව සිහියේ තබා ගැනීම, දිඹුලාගල සෙල්ලිපිය හඳුනා ගැනීම සඳහා වන අත්‍යවශ්‍ය පසුතලය සපයන්නේය. මේ සමයේ විසූ දේශපාලන චරිත රැසක් සම්බන්ධයෙන් සෙල්ලිපියේ කරුණු අනාවරණය වී ඇතැයි, එය කියවීමේ කමිටුවේ සම සභාපති මහාචාර්ය කරුණාසේන හෙට්ටිආරච්චි, මාධ්‍ය හමුවේ කරුණු අනාවරණය කළේය.

ආදරය සෙල්ලිපියකට සමාන කරමින් පද ගෙතූ මහාචාර්ය ආරියරත්න මේ සෙල්ලිපිය පිළිබඳව ඒ මොහොතේ දන්නේ නැත. දිඹුලාගල සෙල්ලිපිය සොයා ගෙන තවම වසරක්වත් කාලයක් නැත්තේය. එහෙම තිබියදී දෙවනපෑතිස් රජ සමයේ සෙල්ලිපියක් ගැන ඔහු ලියූ හෙයින් එය දිඹුලාගල සෙල්ලිපියට කිට්ටු කාලයක් ගැන ඉඟි කළේ යැයි කිව හැකිය. ඒවාට කියන්නේ ‘කවි ඉව’ කියාය.

මේ රටේ සාහිත්‍ය, ඉතිහාසය, පුරාවිද්‍යාව වන් විෂයන් සඳහා නව පරපුර උනන්දුව අඩුය. වටේ පිටේ ඉන්නා. එකෙක් එක්ක, ක්‍රිකට් අතක් ගහන්නට, දැන් ඉන්න කොල්ලෝ කැමති නැත. ඊට වඩා ප්‍රියතාවයක් දක්වන්නේ, ගේම් එකක් ගැසීම හෙවත් පරිගණක ක්‍රීඩාවටය. විෂයක් ගැන කතා කළොත්, එය තොරතුරු තාක්ෂණය පමණමය. මේ හිඩැස වනාහි ජාතියක් ශාස්ත්‍රීය බෙලහීනතාවට පත් කිරීමකි. ලෝකයේ සියල්ල පරිගණකයට පවරා, සමාජයකට අහක බලාගෙන සිටිය නොහැකිය. ඉතිහාසය වනාහි ජාතියක අත්තිවාරම පිළිබඳව වූ කතාවය. එහි සාර, නිස්සාර ආදී කතිකා දියත් වන කළ, අලුත් හැදෑරීම් ඔස්සේ රටකට ඉදිරියට යා හැක්කේය. එහෙම නැතිව තොරතුරු තාක්ෂණය පමණක් සෙවිලි කරගෙන රටකට වාසය කළ නොහැකිය. තොරතුරු තාක්ෂණය සඳහා ‘ඉන්ෆොමේෂන්’ වුවමනාය. මේ තොරතුරු අප ලබා ගන්නේ පිටතින් පමණක් නම් එතැන ඇත්තේ දැනුමේ වහල්කමය. අපේ දැනුමක් නිපදවා ගැනීම වැනි නිවහල් තැනකට යෑම ගැන කතා කරන කාලයක, අපේම කියා තොරතුරු හෝ නැත්නම්, ජාතියක් පණ පිටින් මියයන්නේ, එදාටය.

අප අද පසු කරමින් සිටින කාලය, මිනිසා මැෂිමක්ම වූ අවස්ථාවකි. එහෙම වූ පළියට ලෝකයේ කිසිම රටක් සිය ඉතිහාසය, කලාව අමතක කර, ගමනේ යන්නේ නැත. ඒ රටවල ඇත්තේ’ ටෙක් සිටි’ය. එහෙම තියාගෙන, අනික් විෂයන් වළ දමන්නේ නැත. අපගේ බෝට්ටුවේ අවර පෙත්ත හැම තිස්සේම, කරකැවෙන්නේ අවරටය. යන්නේම වැරදි පැත්ත බලාය. තාක්ෂණය ගැනම කල්පනා කර කර, අන් සියල්ල අමතක කරන්නේය. නැත්නම් මඟ හැර ගන්නේය. දරුවන් පොතක් බලන්නේ අවශ්‍යම වූ දෙයකට පමණය. මීට පෙර පරම්පරාව කඩෙන් බඩු ඔතාගෙන ආ පත්තර පිටුව ද කියවා බලන තරමේ ‘කියැවීමේ රසයක’ විය. අද සියලු කියැවීම් මොනිටරයට හෝ ෆෝන් එකට ගාල් කර අවසන්ය. එම අවකාශයේ අනන්ත දැනුම ඇත්තේ වුවද, ඕපාදූප සහ එදිනෙදා සරල, විනෝදබර මාතෘකා හැරුණු කල, සාරවත් හැදෑරීමක් සඳහා බහුතර ජනයා පෙලඹෙන්නේ නැත.

දිඹුලාගල සෙල්ලිපිය මේ රටේ සැඟවුණු කතා බොහොමයක් හෙළි කරන තැනකි. එදා ගලේ කෙටූ අකුරු ‘අද කතා කරන විට’ තත්ත්වය වෙනස්ය. ඉතිහාස මිථ්‍යාවන් ගණනාවක් අවස්ථාවාදීන් දැන් නිර්මාණය කර තිබේ. සාම්ප්‍රදායික දෙමළ නිජභූමිය, බුදුන් උපන්නේ ලංකාවේ වන් මිථ්‍යා ඔස්සේ ‘රටේ නැති කතා’ හදා ඇත. ඒවා පස්සේ ඉවක් බවක් නැතිව එළවන පිරිසකි. දිඹුලාගල සෙල්ලිපිය මේ බොහොමයක් ප්‍රලාප සඳහා පිළිතුරු දිය හැකි සාක්ෂියකි. ඉතිහාසය පිළිබඳව අලුත් කතා රාශියක් එහි තිබෙනවා ඇත. සෙල්ලිපිය කියවූ විද්වත්හු, දැනට කෙටි වාර්තාවක් ලබා දී තිබේ. එතැන් සිට සංවාද ආදිය සිදු කරමින් වැඩේ ඉදිරියට ගෙන යා හැකිය. සාහිත්‍ය සහ ඉතිහාසය පිළිබඳව අලුත් උනන්දුවක් නිකම් ඇති වන්නේ නැත. අධ්‍යාපනය සහ පණ ගැහෙන සංවාද ඒ සඳහා අත්‍යවශ්‍යය. දිඹුලාගල සෙල්ලිපිය ඒ සඳහා අපට ලබා දුන්, අවස්ථාවක් බවට පත් කර ගත හැකිය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT