Home » අලුත් නායකයෙක් හොයන පාකිස්තාන මැතිවරණය

අලුත් නායකයෙක් හොයන පාකිස්තාන මැතිවරණය

by manjula
February 10, 2024 1:00 am 0 comment

මේ ආරම්භ වී ඇත්තේ ලෝකය පුරාවටම වාගේ මැතිවරණ වසරකි. සියලුදෙනාගේම යාම් ඊම් තීරණය වන්නේ මේ මත යැයි කිව හොත් එහි වරදක් ද නැත. කළ හොඳ පස්සෙන් පැන්නීමට පටන්ගත්තේ ද මේ කාලයේදීය. කොයිහැටි වෙතත් අන් රටවල මැතිවරණයන්ට වඩා ආසියානුකරයේ මැතිවරණයන් යනු ගිනිකෙළි සංදර්ශනයන් හා සමානය. මැතිවරණයට පෙර හා පසු තත්ත්වය ද ඒ ආකාරයමය.

‘ඡන්දය රයිෆලයක් වැනිය. එහි ප්‍රයෝජනය ඇත්තේ පරිශීලකයාගේ චරිතය මතය.’ තියඩෝර් රූස්වෙල්ට්, ජනතාව සතු ඡන්ද බලය පිළිබඳව ප්‍රකාශ කර ඇත්තේ එලෙසිනි. මේ මොහොත වන විට පාකිස්තාන ජනතාවට ද රයිෆලයක් වැනි තම ඡන්ද බලය ප්‍රකාශ කිරීමේ අවස්ථාව එළඹ තිබුණි. ඒ පැවති පාකිස්තාන මහමැතිවරණයත් සමඟිනි. මෙවර පැවැත්වූයේ පාකිස්තානයේ 12 වැනි මහමැතිවරණයයි. මේ සඳහා මිලියන 128ක පමණ ජනතාව තම ඡන්දය ප්‍රකාශ කරනු ලබන්නේ තම රටේ මීළඟ රජය තෝරා පත් කිරීමේ අරමුණිනි.

පාකිස්තානයේ පළමු මැතිවරණය පැවතියේ 1970 දෙසැම්බර් මස 7 වන දිනයි. පාකිස්තාන ජාතික සභාවට සාමාජිකයින් තෝරා පත්කර ගැනීම වෙනුවෙන් මෙම මැතිවරණය පැවති අතර, එය නිදහසින් පසු පැවති පළමු මහ මැතිවරණය ද විය. 1970 පාර්ලිමේන්තු මැතිවරණයේදී නැඟෙනහිර පාකිස්තානු ජාතිකයන් විශාල වශයෙන් ස්වයං පාලනයක් වෙනුවෙන් පෙනීසිටින දේශපාලන පක්ෂයකට ඡන්දය ලබා දෙන ලදි. නමුත් එහිදී සිදු වූයේ හමුදාව සහ පැවති පාලනය විසින් එම පක්ෂයේ නායකයා සිරගත කිරීමට කටයුතු කිරීමයි.

පාකිස්තානය සම්බන්ධයෙන් කතා කිරීමේදී ඊට මූලික වන මාතෘකා දෙකක් තිබේ. එකක් හමුදා පාලනයයි. අනෙක ඒකාධිපතිවාදයයි. ඒකාධිපතිවාදය සම්බන්ධයෙන් දිගු ඉතිහාසයක් කියවන්නට හැක්කේ පැරණි කතාන්දරයක් මෙනි. සිරගත කිරීම්, දේපළ පවරාගැනීම්, යම් යම් චෝදනා එල්ලකරමින් අත්අඩංගුවට ගැනීම් සියල්ල සිදු වන්නේ ඒ මතය. 1980 දශකයේදී සියා – උල් – හක්ගේ හමුදා පාලනය දැක ගත හැකි වූ අතර 1990 දශකය වන විට දෝලනය වීම් සමඟ බෙනාසීර් භූතෝ, නවාස් සරීෆ් වැනි දේශපාලන චරිතයන් ප්‍රබල ලෙසින් ඉස්මතු වන්නට විය.

1947 සිට පාකිස්තානය ස්වාධීන රාජ්‍යයක් ලෙස තම ගමන් මඟ හෙළිපෙහෙළි කර ගනිමින් ඉදිරියට ගමන් කළ ද දශක තුනකටත් වඩා වැඩි කාලයක් එරට පැවතියේ මිලිටරි පාලනයකි. මීට අමතරව පාලන බලයේ නොසිටි අවස්ථාවන්වල පවා දේශපාලනයට බලපෑම් කර තිබෙනා බව ඉතිහාසගත කරුණු සාක්ෂි දරයි.

කොයිහැටි වෙතත් පාකිස්තානයේ හිටපු අගමැතිවරයකු වන ඉම්රාන් ඛාන්ට මෙවර මැතිවරණය සඳහා ඉදිරිපත්වීමේ අවස්ථාව නොලැබිණි. එයට හේතුව වූයේ දූෂණ චෝදනාවන්ට ලක් වීමේ හේතුවෙන් ඔහු සිරගත කර ඇති හෙයිනි. ඔහුගේ පක්ෂයේ ලකුණ වන ක්‍රිකට් පිත්ත පවා භාවිත කිරීම එරට රජය මඟින් තහනම් කර තිබිණි.

2022 වසරේදී ඉම්රාන් ඛාන් නෙරපා හැරීමෙන් පසු, පාකිස්තානය අරාජිකත්වයෙන් පෙළෙමින් සිටි මොහොතක පසුගිය පෙබරවාරි 8 වනදා පාකිස්තානයට නව නායකයකු සොයා ගැනීමේ මැතිවරණය පැවැත්විණි. මේ සඳහා මුල්පෙළේ අපේක්ෂකයින් හතර දෙනකු ද ඉදිරිපත්ව සිටි අතර, පෙර සඳහන් කළාක් මෙන් අගෝස්තු මාසයේ සිට සිරගතව සිටින ඉම්රාන් ඛාන්ට මැතිවරණ සමය ගතකිරීමට සිදු වන්නේ ද සිරමැදිරියක් තුළය. ඉම්රාන්ගේ PTI පක්ෂයට මෙවර මැතිවරණයට තරග කළ නොහැකි බව දන්වා සිටීමෙන් පසු ඔවුන් තමන්ගේ අපේක්ෂකයින් ස්වාධීනව ඉදිරිපත් කිරීමට උත්සාහ ගෙන තිබිණි.

පාකිස්තාන දේශපාලන විචාරකයින් ප්‍රකාශ කර සිටින්නේ 71 හැවිරිදි ඉම්රාන් ඛාන් ඡන්ද ආකර්ෂණයක් සහිත පුද්ගලයකු වුවත් රජයක් පිහිටුවීමට තරම් හැකියාවක් නොමැති බවකි. එහෙත් එම විශ්ලේෂකයින්ම සඳහන් කර සිටින්නේ තෙවරක් අගමැති ධුරයේ සිටි 74 හැවිරිදි නවාස් ෂරීෆ් රට මෙහෙයවීමට ඉදිරියෙන්ම සිටින නායකයා ලෙස සඳහන් කළ හැකි බවයි. ජීවිතාන්තය දක්වා පනවන්නට තිබූ දේශපාලන තහනම අධිකරණය විසින් අවලංගු කරන ලද අතර, පාකිස්තානයේ පවතින උද්ධමනය පාලනය කිරීමට නවාස් ෂරීෆ් සිව්වන වරටත් අගමැති විය යුතු බව ඔහුගේ පක්ෂය විසින් පසුගියදා ප්‍රකාශ කර තිබිණි.

විශේෂිත කරුණක් වන්නේ නවාස් ෂරීෆ්ගේ දියණිය ද මෙම මැතිවරණය සඳහා ඉදිරිපත්ව තිබීමයි. ඇය මරියම් නවාස් ෂරීෆ්ය. 50 හැවිරිදි මරියම් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උපසභාපතිවරියක් වන අතර, වරක් තම පියා සමඟින් සිරබත්කෑමට සිදු වූයේද 2018 මැතිවරණයට පෙර දූෂණ චෝදනාවන්ට ලක් වීම හේතුවෙනි. ෂරීෆ් පවුලේ දේශපාලන චරිත ඉන් අවසන් වූයේ නැත. 71 හැවිරිදි ඔහුගේ බාල සොයුරාද තම සොහොයුරාගේ පක්ෂයෙන්ම මැතිවරණයට ඉදිරිපත් විය. ෂෙහ්බාස් ෂරීෆ් පාර්ලිමේන්තුව විසුරුවා හරින තෙක්ම මාස 16ක් පමණ සභාග ආණ්ඩුවකට නායකත්වය දුන් අතර, පාකිස්තානයේ ජනාකීර්ණම පළාත වන පන්ජාබ්හි මහ ඇමැතිවරයා ලෙස ද කටයුතු කළේය.

පාකිස්තානයේ මෙවර මැතිවරණයට ඉදිරිපත් වන තවත් ජනප්‍රිය චරිතයක් වන්නේ බිලාවල් භූතෝ සර්දාර්ය. ඔහුගේ මව පාකිස්තානයේ පමණක් නොව ලොව පුරා ජනප්‍රිය චරිතයක් වන බෝම්බ ප්‍රහාරයකින් මියගිය බෙනාසීර් භූතෝය. බිලාවල්ගේ පියා වූ අසීෆ් අලි 2008 සිට 2013 වසර දක්වා පාකිස්තානයේ ජනාධිපතිවරයා ද විය.

පාකිස්තාන මාධ්‍ය දක්වා සිටින්නේ ඔහුට පාර්ලිමේන්තුවේ බහුතර බලයක් දිනා ගැනීමට නොහැකි වුවද රජුන් තනන්නකු ලෙස කටයුතු කළ හැකි බවයි.

සුපුරුදු පරිදි අන් මැතිවරණ සමයන්හිදී මෙන්ම මෙවර ද පාකිස්තාන පාර්ලිමේන්තු මැතිවරණය පැවතියේ ප්‍රචණ්ඩත්වය සමඟිනි. පෙබරවාරි 7 වනදා බලුකිස්තාන් ප්‍රාන්තයේ සිදු වූ බෝම්බ පිපිරීම් දෙකකින් පුද්ගලයින් 28 දෙනකු මියගොස් තවත් පිරිසක් තුවාල ලබා ඇති බව එරට ආරක්ෂක අංශ සඳහන් කර සිටියේය. මේ සමඟ මැතිවරණ කාලසීමාවේදී එරට ජංගම දුරකතන සේවා අත්හිටුවීමට එරට අභ්‍යන්තර කටයුතු පිළිබඳ අමාත්‍යාංශය පියවර ගෙන තිබිණි. ඒ රටේ නීතිය හා සාමය පවත්වා ගැනීමේ පියවරක් ලෙසිනි. CNN පුවත් සේවය පාකිස්තාන සන්නද්ධ හමුදාවේ ප්‍රකාශය උපුටා දක්වමින් සඳහන් කරන්නේ මැතිවරණ සමය පුරා එරට තුළ ත්‍රස්තවාදී ප්‍රහාර 51ක් සිදුව ඇති බවයි. එමෙන්ම ඡන්ද දායකයින්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට හයලක්ෂ පනස් දහසක පමණ ආරක්ෂක නිලධාරින් සංඛ්‍යාවක් යොදවා ඇති අතර, යම් තර්ජනාත්මක තත්ත්වයක් ඇතිවේ යැයි විශ්වාස කළ ඡන්ද මධ්‍යස්ථාන සඳහා 6000ක හමුදා නිලධාරින් සහ සිවිල් සන්නද්ධ හමුදා යෙදවූ බව ප්‍රකාශ කරනුයේ පාකිස්තාන හමුදාව විසිනි. මේ අතර තලේබාන් සටන්කාමීන් විසින් Khyber Pakhtunkhwa පළාතේ ප්‍රදේශවාසීන්ට මෙන්ම ඡන්ද මධ්‍යස්ථාන කාර්ය මණ්ඩලයට තර්ජන නිකුත් කර තිබිණි.

මැතිවරණ දින ජංගම දුරකතන සේවා අත්හිටුවීමට තීරණය කිරීම පිළිබඳව එරට අභ්‍යන්තර කටයුතු පිළිබඳ අමාත්‍යාංශය ප්‍රකාශ කළේ “මෑතකදී රටේ සිදු වූ ත්‍රස්තවාදී සිදුවීම් හේතුවෙන් වටිනා ජීවිත අහිමි වී ඇති අතර, නීතිය සහ සාමය පවත්වා ගැනීමට මෙන්ම සිදු විය හැකි තර්ජනවලට එරෙහිව කටයුතු කිරීමට ආරක්ෂක පියවරක් අවශ්‍ය වේ” යනුවෙනි.

මෙවර පාකිස්තානයේ මැතිවරණය වෙනුවෙන් අතිවිශාල පක්ෂ සංඛ්‍යාවක් එක් විය. එය සංඛ්‍යාත්මකව ප්‍රකාශ කරන්නේ නම් පක්ෂ 167කි. මෙහිදී ස්වාධීන අපේක්ෂකයින් ලෙසින් 5121 දෙනකු එක් විය. එමෙන්ම මැතිවරණය වෙනුවෙන් ඡන්දය ප්‍රකාශ කිරීම මිලියන 128 දෙනකු සුදුසුකම් ලබා සිටියහ. මේ සියලු දෙනාම පසුගිය 8 වැනිදා පාකිස්තාන ඡන්ද මධ්‍යස්ථානයන් වෙත ගමන් කරනු ලැබුවේ තම අනාගත රජය තෝරා පත්කර ගැනීම වෙනුවෙනි. කෙසේ වෙතත් පාකිස්තානයේ පවතින දැඩි සමාජ සම්මතයන් හේතුවෙන් කාන්තාවන්ට ඡන්දය ප්‍රකාශ කිරීමේ අයිතිය ඇහිරී තිබිණි. ඔවුන්ට බොහෝවිට ලැබී තිබුණේ ගෘහස්ථ හිංසනයන්ය. කාන්තාවන් නිවෙසින් පිටව යාම තම පවුලට අවමන් ගෙන දෙන්නක් බව පාකිස්තානයේ බොහෝ පවුල්වල මුල්බැස තිබූ මතයක් විය. එහෙයින් ඔවුන් ඡන්ද ප්‍රකාශය කිරීම කවරේද යන්න කෙසේ වෙතත් ඡන්දයේ අයිතියවත් දැන සිටියේ නැත.

කෙසේ වෙතත් පාකිස්තානයේ ආසන 336 අතුරින් 266 දෙනකු මහජන ඡන්දයෙන් තෝරා පත්කරගන්නා අතර, ඉතිරි ආසන 70 කාන්තාවන්ට සහ මුස්ලිම් නොවන පුද්ගලයන්ට වෙන්කර තිබේ. මෙවර පැවති මැතිවරණයේ ප්‍රතිඵලවලට අනුව පාර්ලිමේන්තුවේ බහුතරය හිමිවන අපේක්ෂකයකු එරට අගමැතිවරයා වශයෙන් පත්වීමට නියමිතය.

 

රජිත බස්නායක

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT

Hutch Hutch
x