Home » අධ්‍යාපනයේ විශිෂ්ටත්වය තුළින් අනාගත පරම්පරාවේ අභිවෘද්ධිය සාක්ෂාත් කර ගැනීමට කැප වෙමු

අධ්‍යාපනයේ විශිෂ්ටත්වය තුළින් අනාගත පරම්පරාවේ අභිවෘද්ධිය සාක්ෂාත් කර ගැනීමට කැප වෙමු

අගමැති දිනේෂ් ගුණවර්ධන

by manjula
February 10, 2024 1:00 am 0 comment

අධ්‍යාපනය පුද්ගලයන්ගේ ජීවිතවලට සහ ජාතීන්ගේ ඉරණමට ඇති කරන ප්‍රබල බලපෑම කිසිදා අමතක නොකළ යුතු යැයි අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා පැවසීය.

මැද පෙරදිග සහ බටහිර ආසියානු කලාපයේ ජාත්‍යන්තර පාසල්වල සාමාජික විදුහල්පතිවරුන්ගේ සහෝදය (CBSE Gulf Sahodaya) කොළඹදී පසුගියදා (07) පැවැත්වුණු අතර, ඊට එක් වූ අගමැතිවරයා මේ බව සඳහන් කළේය. අධ්‍යාපනයේ විශිෂ්ටත්වය තුළින් අපගේ සමාජයේ සහ අනාගත පරම්පරාවේ අභිවෘද්ධිය සාක්ෂාත් කර ගැනීම සඳහා කැපවෙමු යැයි අගමැතිවරයා මෙහිදී ඉල්ලා සිටියේය. එහිදී අදහස් දක්වමින් දිනේෂ් ගුණවර්ධන මහතා මෙසේද පැවසීය.

“සේවය වෙනුවෙන් කැප වූ පාසල් විදුහල්පතිවරුන්ගේ මේ සංවිධානය පසුගිය දශක තුනක කාලය තුළ අපගේ සමාජයේ වගකීම භාරදිය හැකි තරුණ පෙළට, අනාගත අපේක්ෂාවන්ට ළඟා වීමට හැකි වන පරිදි අධ්‍යාපනයෙහි ගුණාත්මක බව පෝෂණය කිරීමෙහිලා විශිෂ්ට ප්‍රගතියක් ලබා දී තිබෙනවා.

ඕනෑම සමාජයක ප්‍රගතිය සහ සමෘද්ධිය සඳහා මූලික පදනම වන්නේ අධ්‍යාපනයයි. හෙට දවසේ නායකයන් සහ නවෝත්පාදකයන් පෝෂණය වන්නේත්, හැඩගැස්වන්නේත් අපේ පාසල් හරහායි. ඔබ අපගේ සිසුන්ගේ දැනුම, ප්‍රබුද්ධත්වය සහ බලගැන්වීම සඳහා යොමු කරන මේ පරිවර්තනීය ක්‍රියාවලියේ නිර්මාණකරුවන්. ගල්ෆ් කලාපය, අප්‍රිකාව සහ ආසියාව ඇතුළු බොහෝ රටවල අධ්‍යාපනය නංවාලීම සඳහා ශ්‍රී ලංකාව ලබා දුන් දායකත්වය පිළිබඳව අපි සැබවින්ම ආඩම්බර වෙනවා. මා හමුවන ඒ රටවල බොහෝ නායකයන් සහ නියෝජිතයන් ඒ රටවල ශ්‍රී ලාංකීය ගුරුවරුන්ගේ සේවය බෙහෙවින් අගය කරනවා. පෙර නොවූ විරූ අභියෝග හමුවේ, ඔබ නොසැලී ඒ තත්ත්වයට අනුවර්තනය වීමේ හැකියාව පෙන්නුම් කර තිබෙනවා.

කොවිඩ් -19 වසංගතය අපගේ අධ්‍යාපන ක්‍රමවලට අභියෝගයක් වූ අවස්ථාවේදී ඔබ තම දක්ෂතාවයෙන් සහ අධිෂ්ඨානයෙන් නව ක්‍රමවේද තුළින් එයට මුහුණ දීමට සමත් වුණා. සාමාන්‍ය පන්ති කාමරවල සිට දුරස්ථ ඉගෙනුම් ආකෘති දක්වා, ඔබ අධ්‍යාපනයේ නවෝත්පාදනයන් වෙත ළඟා වී තිබෙනවා. නායකයකු ලෙස, පසුබිම හෝ තත්ත්වයන් නොසලකා පිපෙන්නට වෙර දරන සෑම මල් කැකුළකටම විකසිත වීමට අවස්ථාව ලබා දෙන සමාජයක් ගැන අප සිහින දකිනවා. සෑම දරුවකුටම අධ්‍යාපනය ලැබීමේ මූලික අයිතිය ලබා දී ලෝකයේ අභියෝගවලට මුහුණ දීමට හැකි වන ලෙස ඔවුන් සන්නද්ධ කළ යුතුයි. රජය සහ අධ්‍යාපනඥයන් එක්ව, කිසිදු දරුවකු අත්නොහැර ඔවුන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් ආයෝජනය කිරීමටත් ආයෝජනය සමව බෙදාහැරීමටත් පියවර ගත යුතුයි.

මේ වගකීම පැවරෙන්නේ අධ්‍යාපනඥයන් සහ ප්‍රතිපත්ති සම්පාදකයන් මත පමණක්ම නොවේ. එය සාමූහික ප්‍රයත්නයක්. එයට සෑම තරාතිරමකම දෙමාපියන්, ප්‍රජාවන් සහ පාර්ශ්වකරුවන්ගේ ක්‍රියාකාරී සහභාගීත්වය අවශ්‍යයි. අධ්‍යාපනයේ මූලික අංගවලට අමතරව, චරිත වර්ධනයේ සහ සමස්ත සංවර්ධනයේ වැදගත්කම අවධාරණය කිරීම අවශ්‍යයි. අධ්‍යාපනයේ පුරෝගාමීන් ලෙස දරුවන් තුළ අවංකභාවය, සංවේදනය සහ දරාගැනීමේ හැකියාව වැනි වටිනාකම් ඇති කිරීම අත්‍යවශ්‍යයි. මේ ඩිජිටල් යුගයේ, නිරන්තරයෙන් පරිණාමය වන ලෝකයක් සඳහා සිසුන් සූදානම් කිරීම අතිශයින් වැදගත්. තාක්ෂණය වැලඳගත් අපේ තරුණ පරපුර අධ්‍යාපනික වශයෙන් පමණක් නොව, තාක්ෂණික සාක්ෂරතාවයෙන්ද යුක්ත බව සහතික කළ යුතුයි. අධ්‍යාපනය පුද්ගලයන්ගේ ජීවිතවලට සහ ජාතීන්ගේ ඉරණමට ඇති කරන ප්‍රබල බලපෑම කිසිදා අමතක නොකළ යුතුයි. අපගේ ජාතියේ අනාගතය රඳා පවතින්නේ උගතුන්ගේ ප්‍රඥාවෙන් සහ දයාවෙන් මෙහෙයවනු ලබන සිසු පරපුර මත බව දැන, නොසැලෙන අධිෂ්ඨානයෙන් එම කාර්යයන් ඉදිරියට ගෙන යාමට කැප වෙමු.

අධ්‍යාපනයේ විශිෂ්ටත්වය සහ අපගේ සමාජයේ හා අනාගත පරම්පරාවේ අභිවෘද්ධිය සාක්ෂාත් කර ගැනීම සඳහා කැපවෙමු.”

ඉන්දීය නියෝජ්‍ය මහකොමසාරිස් සත්‍යාංජල් පාණ්ඩේ, ගල්ෆ් සහෝදය- ද්විතීය අධ්‍යාපන කේන්ද්‍රීය මණ්ඩලයෙහි සභාපති වී.ආර් පලනිස්වාමි, ප්‍රධාන ලේකම් ආචාර්ය වී. බිනුමෝ යන මහත්වරුන් ඇතුළු ගල්ෆ් සහෝදය- ද්විතීය අධ්‍යාපන කේන්ද්‍රීය මණ්ඩලයෙහි (CBSE) අනෙකුත් නිලධාරී මණ්ඩලය, සියයකට අධික ජාත්‍යන්තර පාසල් ප්‍රධානාචාර්යවරු මේ අවස්ථාවට සහභාගී වූහ.

නුවන් කොඩිකාර

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT