තුර්කියේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සංවිධාන කළ 76 වැනි නිදහස් දින සැමරුමක් තුර්කියේ ජාතික අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය යූසූෆ් ටෙකින් මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය 5 දා තුර්කියේදී පැවැත්විණි.
මේ සඳහා එරට කර්මාන්ත හා තාක්ෂණ නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය අහමට් යොස්ගැට්ලිජිල්, තුර්කි පාර්ලිමේන්තුවේ ඔම්බුඩ්ස්මන් යාහ්යා අකාන්, තුර්කි පාර්ලිමේන්තුවේ එකඟතා කමිටුවේ සභාපති බුර්හාන් කෙයාටර්ක් යන මහත්වරුන් ඇතුළු එරට දේශපාලනඥයන්, නිලධාරීන්, ව්‍යාපාරික ප්‍රජාව, ශාස්ත්‍රීය, සංස්කෘතික සහ සිවිල් සමාජ නියෝජිතයන්, රාජ්‍යතාන්ත්‍රික නිලධාරීන්, එක්සත් ජාතීන්ගේ සහ අනෙකුත් ජාත්‍යන්තර ආයතනවල කාර්ය මණ්ඩලය ඇතුළු විශාල පිරිසක් සහභාගි වූහ.
එහිදී එරට ශ්‍රී ලංකා තානාපතිනී හසන්ති ඌරුගොඩවත්ත දිසානායක මහත්මිය, නිදහසට පෙර සහ පසු ශ්‍රී ලංකාවේ ඉතිහාසය, නිදහස් ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය හා අධ්‍යාපන ක්ෂේත්රවල ජයග්‍රහණ, වත්මන් ශ්‍රී ලංකාවේ ද්විපාර්ශ්වික සංචාරක, වෙළෙඳ සහ ආයෝජන සහයෝගිතාව, ගෝලීය දේශගුණික විපර්යාස බලපෑම් අවම කිරීම සඳහා ශ්‍රී ලංකාව දක්වන කැපවීම සහ උත්සාහය, රටේ මූල්‍ය තත්ත්වය ස්ථාවර කිරීමේ ප්‍රගතිය යනාදිය සම්බන්ධයෙන් විස්තර කළාය.
ශ්‍රී ලංකාව 2004දී මුහුණ දුන් සුනාමිය සහ ගිනිකොනදිග තුර්කිය විනාශ කළ 2023 භූමිකම්පාව වැනි ඛේදවාචක සහ වේදනාවන් ඇති වූ අවස්ථාවලදී රටවල් දෙක අතර තිබූ සහයෝගිතාවද ඇය අවධාරණය කළාය. මෙහිදී, පුරාවිද්‍යා උරුමයන් පිළිබඳ පර්යේෂණයන්ට සහයෝගිතාව පිළිබඳ සාකච්ඡාවක් සඳහා තුර්කි ජාතික අධ්‍යාපන අමාත්‍යවරයා, ශ්‍රී ලංකා තානාපතිනියට ආරාධනා කළේය. ඒ මහතා දෙරට අතර තාක්ෂණික හා ආර්ථික සහයෝගිතාව පිළිබඳ ඒකාබද්ධ කොමිසමේ සභාපතිවරයාද වේ.
දෙරට අතර භූගෝලීය දුරස්ථභාවය තිබියදීත්, තුර්කියේ – ශ්‍රී ලංකා සබඳතා සෑම විටම අන්‍යෝන්‍ය සුහදතාවය මත කටයුතු කරන බව අමාත්‍යවරයා සඳහන් කළේය. ශ්‍රී ලංකාවේ 76 වැනි නිදහස් සංවත්සරය, තුර්කි ජනරජය පිහිටුවීමේ 100 වැනි සංවත්සරය සහ රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවලට වසර 76ක් පිරීම නිමිත්තෙන් නිකුත් කළ ඒකාබද්ධ සමරු මුද්දරය දෙරට සබඳතාවල වටිනා සන්ධිස්ථානයක් වූ බවද ඔහු සඳහන් කළේය.
2023 දෙසැම්බර් 11 දා දෙරට අතර බලාත්මක වූ ද්විපාර්ශ්වික වෙළෙඳාම වැඩිදියුණු කිරීමේ අවස්ථාව, තාක්ෂණික හා ආර්ථික සහයෝගිතාව පිළිබඳ ඒකාබද්ධ කොමිසමේ මීළඟ සැසිවාරය පැවැත්වීම, ද්විත්ව බදුකරණය වැළැක්වීමේ ගිවිසුම යන කරුණුද දෙරටේ ම අවධානයට ලක් විය. ජෝර්ජියාවේ ටිබිලිසි ප්‍රාන්ත වෛද්‍ය විශ්වවිද්‍යාලයේ ශ්‍රී ලාංකික වෛද්‍ය සිසුන් 03දෙනකුගේ පූජා නැටුමක් ඇතුළු සාම්ප්‍රදායික නර්තන අංගයන්ගෙන් නිදහස් දින සැමරුම අලංකෘත විය.
ශ්‍රී ලාංකේය සංස්කෘතිය සහ වනජීවීන් පිළිබඳ ඡායාරූප ප්රදර්ශනයක්ද පැවැත්විණි.
ලංකාවේ 76 වැනි නිදහස් සංවත්සරය සැමරීමේ නිල උත්සවයද ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විසින් පෙබරවාරි 4 දා ශ්‍රී ලාංකික ප්‍රජාව සමඟ තානාපති කාර්යාල පරිශ්‍රයේදී පවත්වන ලද අතර, ජාතික ධජය එසවීම, ජාතික ගීය ගායනා කිරීම, පොල්තෙල් පහන දැල්වීම, සිව් ආගම්වලට ආශීර්වාද කිරීම, ජනාධිපති, අගමැති සහ විදේශ අමාත්‍යවරුන්ගේ පණිවිඩ සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි භාෂාවෙන් කියවීම සහ තානාපතිවරයාගේ දේශනයද එහිදී සිදු විය.
ශිරෝමි අබයසිංහ