Home » පැතුම් නිශ්ශංක ශ්‍රී ලංකා පැතුම් පුබුදුවයි

පැතුම් නිශ්ශංක ශ්‍රී ලංකා පැතුම් පුබුදුවයි

by manjula
February 10, 2024 1:00 am 0 comment

සනත්ගේ ඇස් ඉදිරිපිටදීම වසර 24ක් පැරණි වාර්තාව බිඳදමයි

ඇෆ්ගනිස්තානය ලකුණු 42කින් පරදී

සංචාරක ඇෆ්ගනිස්තානය හා ශ්‍රී ලංකාව අතර තරග තුනකින් සමන්විත එක්දින තරගාවලියේ පළමු තරගයෙන් ශ්‍රී ලංකා පිල ලකුණු 42ක ජයක් වාර්තා කොට තරග 1-0කින් ඉදිරියට පැමිණියේය. මහනුවර පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ ඊයේ පැවති දිවා – රාත්‍රි තරගයේ කාසියේ වාසිය දිනාගත් ඇෆ්ගනිස්තාන පිල මුලින් පන්දුවට පහරදීමට ශ්‍රී ලංකාවට ආරාධනා කළ හෙයින් ශ්‍රී ලංකා පිල කඩුලු 3ක් දැවී ලකුණු 381ක් ලබා ගත්තේය. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඇෆ්ගනිස්තානය කඩුලු 6කට ලකුණු 339ක් ලබා අවමන් සහගත පරාජයෙන් ගැලවී ගියේය.

කලකට පසු ක්‍රිකට් ක්‍රීඩාවේ සම්මත අලංකාර ප්‍රහාරයෙන් සමන්විතව ශ්‍රී ලංකා පිතිකරුවකුගෙන් දුටු සුපිරි ඉනිමක් ක්‍රියාත්මක කළ පැතුම් නිශ්ශංක එක්දින ජාත්‍යන්තර තරගයකදී ද්විත්ව ශතකයක් වාර්තා කළ පළමු ශ්‍රී ලංකා පිතිකරු ලෙස ඊයේ (9) ඉතිහාසයට එක්විය. පැතුම් නිශ්ශංක, පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේදී හිටපු සුපිරි පිතිකරු සනත් ජයසූරිය බලා සිටියදීම තරගයකදී ශ්‍රී ලංකාවේ වැඩිම එක්දින ලකුණු රැස්කළ පිතිකරුගේ වාර්තාව ද බිඳ හෙළීම කාගේත් අවධානයට යොමුවූ සිත් ගන්නා අවස්ථාවක් විය.

වසර 2000දී සනත් ජයසූරිය සාජා පිටියේදී ඉන්දියාවට එරෙහිව ලකුණු 189ක් ලබා පිහිටුවා තිබූ ශ්‍රී ලංකා පිතිකරුවකු එක්දින තරගයකදී ලබා තිබූ වැඩිම ලකුණු වාර්තාව මකාදමමින් පැතුම් නිශ්ශංක පන්දු 139කදී හයේ පහර 8ක් හා හතරේ පහර 20ක් සමඟ නොදැවී ලකුණු 210ක් ලබා ගැනීමට සමත් විය. මෙයට පෙර පැතුම් එක්දින තරගයක වාර්තා කළ වැඩිම ලකුණු ගණන වූයේ 2022දී ඔස්ට්‍රේලියාවට එරෙහිව ලකුණු 137ක් ලබා ගැනීමය. ලෝක එක්දින පිටියේ ද්විත්ව ශතකය පසුකළ 7 වැනි පිතිකරු ලෙස පැතුම්ගේ නාමය ක්‍රිකට් වාර්තා පොතේ සටහන් වු අතර, ඉනිම ආරම්භයේ සිට අවසන් පන්දුව දක්වා නොදැවී සිටි ලොව 5 වැනි පිතිකරු ද වූවේය.

පසුගිය වසරේදී පැතුම් නිශ්ශංක හා දිමුත් කරුණාරත්න කොදෙව් පිලට එරෙහිව ලකුණු 190ක් ලබා ගැනීමෙන් අනතුරුව පළමු කඩුල්ලට ශතක සබඳතා ගොඩනැඟීම අවශ්‍යව තිබුණ ද, එවැනි දක්ෂතා ශ්‍රී ලංකා පිලෙන් අවමවී ගියේය. එවැනි පසුබිමක ආරම්භක පිතිකරුවන් වූ පැතුම් නිශ්ශංක හා අවිශ්ක ප්‍රනාන්දු පළමු කඩුල්ලට පන්දු 160කදී ලකුණු 182ක සම්බන්ධතාවක් ගොඩනඟමින් ශ්‍රී ලංකා ලකුණු පුවරුව ඉහළ දැමීම කැපී පෙනිණි.

ආරම්භයේදීම පැතුම් – අවිශ්ක දෙදෙනා ගොඩනැඟූ සම්බන්ධතාව පල්ලෙකැලේ තණතිල්ලේ ඕනෑම කඩුල්ලක් වෙනුවෙන් තෙවැනි හොඳම ලකුණු සම්බන්ධතාවවීම ද විශේෂත්වයකි. මෙයට පෙර වත්මන් තේරීම් කමිටු සභාපති උපුල් තරංග හා ටී.එම්. ඩිල්ෂාන් 2011දී සිම්බාබ්වේට එරෙහිව පළමු කඩුල්ලට ලකුණු 282ක්, කුමාර් සංගක්කාර හා ටී. එම්. ඩිල්ෂාන් 2013දී දකුණු අප්‍රිකාවට එරෙහිව දෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 184ක් පල්ලෙකැලේ පිටියේ එක්කොට තිබිණි.

අවිශ්ක ප්‍රනාන්දු තම 33 වැනි ජාත්‍යන්තර එක්දින තරගයේදී එක්දින ලකුණු 1000 සම්පූර්ණ කිරීමට සමත් විය. හෙතෙම ඊයේ තරගයේදී තම 6 වැනි එක්දින අර්ධ ශතකය වාර්තා කළ අතර, පන්දු 88කට මුහුණ දෙමින් හයේ 3ක් හා හතරේ පහර 8ක් සමඟ ලකුණු 88ක් එක් කළේය.

කුසල් මෙන්ඩිස් ලකුණු 16කට දැවී යෑමෙන් අනතුරුව පැමිණි සදීර සමරවික්‍රම පැතුම් සමඟ එක්ව තෙවැනි කඩුල්ලට පන්දු 71කදී වේගවත් ලකුණු 120ක සම්බන්ධාතවක් ගොඩනැඟීමෙන් ලකුණු 300 සීමාව පසු කිරීම පහසු විය. සදීර පන්දු 31කදී හයේ පහර 1ක් හා හතරේ පහර 4ක් එල්ලකොට ලකුණු 44ක් වාර්තා කළේය. ශ්‍රී ලංකා ඉනිම නිමාවෙද්දී චරිත් අසලංක නොදැවී ලකුණු 7ක් ලබා සිටියේය.

ඇෆ්ගනිස්තාන ඉනිමේ පළමු කඩුලු 5 ලකුණු 55දී බිඳ වැටුණු අතර, අසමතුල්ලා ඔමරාසි හා මොහොමඩ් නබී 6 වැනි කඩුල්ලට පන්දු 222කදී ලකුණු 242ක වාර්තාගත සබඳතාවක් ගොඩනැඟූහ. එය ලෝක එක්දින ක්‍රිකට් බිමේ 6 වැනි කඩුල්ලට හොඳම දෙවැනි සබඳතාව වේ. නවසීලන්තයේ ග්‍රාන්ට් එලියට් හා ලූක් රොන්චි 2015දී ශ්‍රී ලංකාවට එරෙහිව ඩනේඩීන්හිදී නොබිඳුනු ලකුණු 267ක සම්බන්ධතාව ඉදිරියෙන්ම ඇත.

කෙසේ වුවද අවමන් සහගත පරාජයකින් තම පිල බේරා ගැනීමට කැපවූ මොහොමඩ් නබී පන්දු 130කදී හයේ 3ක් හා හතරේ 15ක් සමඟ ලකුණු 136ක් ලබාගත් අතර, අසමතුල්ලා ඔමර්සායි පන්දු 115කදී හයේ 6ක් හා හතරේ 13ක් සමඟ නොදැවී ලකුණු 149ක් ලබා ගත්තේය. පන්දු යැවීමේදී ප්‍රමෝද් මධුෂාන් කඩුලු 4ක් හා දුෂ්මන්ත චමීර කඩුලු 2ක් බිඳ හෙළා ගත්හ.

දෙරට අතර දෙවැනි එක්දින තරගය හෙට (11) පල්ලෙකැලේදී පැවැත්වේ.

ප්‍රින්ස් ගුණසේකර

ඡායාරූප – සුදත් නිශාන්ත

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT