Monday, June 17, 2024
Home » තමන්ගේ ගමන් මඟ සකසා ගැනීමට ඉන්දු සයුර ආශ්‍රිත රටවලට පුළුවන්
ලෝක බලවතුන් ඉරණම ලියා දෙන තෙක් නොඉඳ

තමන්ගේ ගමන් මඟ සකසා ගැනීමට ඉන්දු සයුර ආශ්‍රිත රටවලට පුළුවන්

by sachintha
February 12, 2024 2:38 am 0 comment

ඉන්දීය සාගර සමුළුවේ ප්‍රධාන දේශනය පවත්වමින් ජනපති අවධාරණය කරයි

ගෝලීය බලවතුන් තම ඉරණම තීරණය කරන තෙක් බලා නොසිට තමන්ගේ ගමන් මඟ සකසා ගැනීමට ඉන්දීය සාගරය ආශ්‍රිත රටවලට හැකියාව පවතින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේය. ජනපතිවරයා මේ බව ප්‍රකාශ කළේ ඔස්ට්‍රේලියාවේ පර්ත් නුවර පසුගිය සිකුරාදා (9) පැවති 7 වැනි ඉන්දීය සාගර සමුළුවේ ප්‍රධාන දේශනය සිදු කරමිනි.

ඉන්දීය සාගරය ආශ්‍රිත රටවල සහ එම සාගරය බහුලව භාවිත කරන සෙසු රටවලට බලපාන පොදු අභිලාෂ හා ගැටලු පිළිබඳ සාකච්ඡා කෙරෙන ඉන්දීය සාගර සමුළුවේ 7 වැනි සමුළුව පසුගිය 9 සහ 10 දෙදිනදී පැවැත්විණි. ඉන්දියාවේ විදේශ කටයුතු අමාත්‍යාංශය සහ ඉන්දීය පදනම ඔස්ට්‍රේලියා රජය සමඟ එක්ව සංවිධානය කර තිබූ මෙවර සමුළුවේ තේමාව වූයේ ‘ස්ථාවර සහ තිරසර ඉන්දීය සාගරයක් කරා’ යන්නයි. ඔස්ට්‍රේලියානු විදේශ කටයුතු අමාත්‍ය පෙනී වොං, ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය සුබ්‍රමනියම් ජායිශංකර්, සිංගප්පූරු විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය විවියන් බාලක්‍රිෂ්ණන් මහත්ම මහත්මීහු සහ ඉන්දීය සාගර ආශ්‍රිත රටවල විදේශ අමාත්‍යවරුන් සහ නියෝජිතයන් මෙන්ම ඉන්දීය පදනමේ සභාපති රාම් මාධව් මහතා ඇතුළු නියෝජිතයෝ සමුළුවට එක්ව සිටියහ.

ජනාධිපතිවරයා සමුළුව අමතමින් මෙසේද ප්‍රකාශ කළේය:

“හත්වැනි ඉන්දීය සාගර සමුළුවට සහභාගි වීම සඳහා පර්ත් නුවරට පැමිණීමට ලැබීම පිළිබඳ මා සතුටු වෙනවා. ඒ වගේම අප සියලු දෙනා වෙත පිරිනමන ආගන්තුක සත්කාර වෙනුවෙන් ඔස්ට්‍රේලියානු රජයට මා ස්තුතිවන්ත වනවා. එමෙන්ම මෙම සමුළුව සංවිධානය කිරීම පිළිබඳ ඉන්දීය පදනමට ස්තුතිවන්ත වනවා.

“ඉන්දීය සාගරය සහ දකුණු පැසිෆික් සාගරය යන දෙකටම මායිම්ව ඔස්ට්‍රේලියානු මහාද්වීපය පිහිටා තිබීම ඉතා සුවිශේෂ වනවා. ඒ වගේම පර්ත් නගරය ඉතිහාසයේ ශ්‍රී ලංකා ඔස්ට්‍රේලියානු සබඳතා වෙනුවෙන් තීරණාත්මක කාර්යභාරයක් ඉටු කර තිබෙනවා. දෙවැනි ලෝක සංග්‍රාමයේදී රාජකීය කැනේඩියානු ගුවන් හමුදාව සහ කැටලිනා පියාසර බෝට්ටු, ඔස්ට්‍රේලියාවේ පර්ත් නගරය සහ ශ්‍රී ලංකාවේ කොග්ගල ගුවන් කඳවුර සම්බන්ධ කරමින් ඉන්දීය සාගරය හරහා ගමන් කළා.

“ඉන්දීය උප මහාද්වීපය සහ ඔස්ට්‍රේලියාව අතර ඇති එකම ගුවන් සම්බන්ධතාව ‘හිරු උදාවන් ද්විත්වයක් දකින පියාසැරි’ (flights of the double sunrise) ලෙස හඳුන්වනු ලැබූ අතර, එය දෙවැනි ලෝක සංග්‍රාමයේදී මිත්‍ර පාක්ෂිකයන් සඳහා තීරණාත්මක ගුවන් ගමන් වෙනුවෙන් සංඥා සබඳතා රහිතව පැය 32ක් දක්වා නොනවතින ගුවන් සංචාර ක්‍රියාත්මක කළා. 1942 වර්ෂයේ අප්‍රේල් මාසයේදී ඉන්දීය සාගරයට, විශේෂයෙන් ලංකාවට එල්ල වූ ජපන් ප්‍රහාර යුද්ධයේ භයානකම අවස්ථාව ලෙස, වින්ස්ටන්ට් චර්චිල් සඳහන් කළ අතර, ඒ මඟින් බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයට ඉන්දීය සාගරයේ වැදගත්කම පෙන්වා දුන්නා. බ්‍රිතාන්‍ය නාවික ප්‍රහාරක යාත්‍රාවලට ජපාන ජාතිකයන් ප්‍රහාර එල්ල කර ගිල්ලා දැමුවා මිස, වෙනත් සරල කාරණයක් හේතුවෙන් ඉන්දීය සාගරය තුළ නාවික ප්‍රහාරක යාත්‍රාවලට ප්‍රහාර එල්ල නොවූ බව ආචාර්ය බාලක්‍රිෂ්ණන් මහතා සමඟ කතා කරමින් සිටි අවස්ථාවේ ඔහු ප්‍රකාශ කළා.

“ඒ වගේම ඔබ සිදු කරන සාකච්ඡා සඳහා වැදගත් වනු ඇතැයි මා සිතන වැදගත් ප්‍රවණතා කිහිපයක් සඳහන් කිරීමට මම කැමතියි. පළමුව: ඓතිහාසික පසුබිම පිළිබඳ සඳහන් කළ හොත් ඉන්දීය සාගරය බහුධ්‍රැවීය වන අතර, එය තනි බලයක ආධිපත්‍යයට එරෙහි වී තිබෙනවා. මේ බහුධ්‍රැවීයතාව ඉන්දීය සාගර කලාපයේ සහ එහි ජනතාවගේ සාරය පිළිබිඹු කරනවා.

“ආසියාව යටත්විජිතවාදයෙන් මිදෙන අවස්ථාවේ ආසියාවේ අලුතින් ස්වාධීන රටවල් වූ එනම්, ලංකාව, ඉන්දියාව, ඉන්දුනීසියාව, බුරුමය සහ පාකිස්තානය එක්ව 1955දී යටත්විජිතවාදයට සියලු ආකාරවලින් විරුද්ධ වීමේ අරමුණින් බැන්ඩුං සමුළුව කැඳවූවා. මහා බලවතුන්ගේ එදිරිවාදිකම්වලට විරුද්ධ වීමේ මෙම සමුළුවේ ප්‍රකාශය අනතුරුව නොබැඳි ජාතීන්ගේ ව්‍යාපාරය නිර්මාණය කළා. එතැන් සිට ඉන්දීය සාගර කලාපය බැන්ඩුං ප්‍රකාශය මත පිහිටා කටයුතු කරනු ලැබුවා. එය කිසි දිනෙක දෙවැනි ලෝක යුද්ධයෙන් පසු ආසියා පැසිෆික් කලාපයේ එක්සත් ජනපදය විසින් අනුගමනය කරන ලද සන්ධාන ජාලයේ (US Hub and Spoke System) කොටසක් වී නැහැ.

“පසුගිය දශක දෙක තුළ ඉන්දීය සාගර කලාපයේ රටවල විවිධ රාමු බිහි වීම සහ විවිධ ප්‍රතිපත්තිමය ස්ථාවරයන්, නැඹුරුතා සහ රාමු සකස් කරමින් සිදු වන රාජ්‍ය තාන්ත්‍රික ක්‍රියාකාරකම් රැල්ලක් දැකගැනීමට හැකි වුණා. එමඟින් කිසිදු තනි, පරමාදර්ශී භූ දේශපාලන ව්‍යූහයක් මතු වී නැති බව පැහැදිලිව පෙනෙන අතර, ඒ වෙනුවට අපට ඉතිරිව ඇත්තේ විවිධ අර්ථ නිරූපණයන් සහිත මතභේදාත්මක දර්ශනයකි. මෙසේ මතු වී ඇති ප්‍රධාන රාමුවලට අමතරව ඉන්දය සාගර කලාපීය වටද්දර රටවල සංගමය (IORA), ඉන්දු පැසිෆික් (Indo-Pacific), එක් තීරයක් එක් මාවතක් වැඩසටහන (BRI), පංච බල ආරක්ෂක ගිවිසුම, ක්වාඩ් (QUAD) සහ බ්‍රික්ස් (BRICS) යන සංවිධානද ඊට ඇතුළත්. ආසියාන් කලාපීය සංසදය (ASEAN Regional Forum), ආසියානු සහයෝගිතා සංවාදය (ACD), බිම්ස්ටෙක් (BIMSTEC), සාර්ක් (SAARC), ගල්ෆ් සහයෝගිතා සභාව (GCC), අරාබි ලීගය, ඉස්ලාමීය සහයෝගිතා සංවිධානය (OIC), දකුණු අප්‍රිකානු සංවර්ධන ප්‍රජාව (SADC), නැඟෙනහිර අප්‍රිකානු ප්‍රජාව (EAC) සහ ෂැංහායි සහයෝගිතා සංවිධානය (SCO) ඇතුළු කලාපීය සංවිධානද පිහිටුවා තිබෙනවා. ඊට අමතරව අපට ආසියාවේ මුහුදු කොල්ලකෑම් හා සන්නද්ධ මංකොල්ලකෑම්වලට එරෙහිව සටන් කිරීමේ කලාපීය සහයෝගිතා ගිවිසුම (ReCAAP), ඉන්දීය සාගර නාවික සම්මන්ත්‍රණය (IONS), ජිබුටි චර්යාධර්ම සංග්‍රහය (Djibouti Code of Conduct), ඉන්දීය සාගරයේ ටූනා කොමිෂන් සභාව (IOTC), ඉන්දීය සාගර කොමිෂන් සභාව (IOC), MASE, කලාපීය තොරතුරු සම්මිශ්‍රණ මධ්‍යස්ථාන හතරක් (සිංගප්පූරුව, ඉන්දියාව, සීෂෙල්ස් හා මැඩගස්කරය) සහ සෝමාලියාවේ වෙරළට ඔබ්බෙන් මුහුදු කොල්ලකෑම් පිළිබඳ සම්බන්ධතා කණ්ඩායම (CGPCS) ඇතුළු විශේෂිත සහයෝගිතා ක්ෂේත්‍ර සම්බන්ධ මෙහෙයුම් විධිවිධාන තිබෙනවා.

“මේ රාමු සහ කණ්ඩායම් සමඟ, බල තුලනය සහ සන්ධාන නැවත අර්ථකථනය කරන ඉන්දීය සාගරයේ මිලිටරිකරණයෙහි වැඩි වීමක්ද අපට දක්නට ලැබෙනවා. සමුද්‍රීය අවකාශය තුළ ඉන්දියාව, අමෙරිකා එක්සත් ජනපදය, ඔස්ට්‍රේලියාව, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, සවුදි අරාබිය සහ චීනය සමඟ නාවික ක්‍රියාකාරකම්වල ගොඩනැඟීමක් අපට දක්නට ලැබෙනවා. එබැවින් මහා බලවතුන් අතර සමබරතාව පවත්වාගැනීම වඩවඩාත් සංකීර්ණ කාර්යයක් බවට පත් වෙමින් තිබෙනවා. එහි ප්‍රතිඵලයක් ලෙස, මුහුදුබඩ රාජ්‍ය සඳහා උපායශීලි වීමට පවතින ඉඩකඩ වේගයෙන් අඩු වෙමින් පවතින අතර, ඉන්දීය සාගර කලාපයේ මේ එදිරිවාදිකම් තීව්‍ර වෙමින් දේශපාලන, ආර්ථික සහ ආරක්ෂක ගැටලු සම්බන්ධයෙන් තීරණ ගැනීම දක්වා එය විහිද යනවා.

“එක් දෙයක් වෙනුවට තවත් දෙයක් තෝරාගැනීමේ ප්‍රශ්නය නිරන්තරයෙන් අප වෙත පවතිනවා. දෙවනුව, භූදේශපාලනික වර්ධනයන් නිසා බටහිර ඉන්දීය සාගරයේ උපායමාර්ගික වැදගත්කම වසර හතරකට පෙර නොසිතූ ලෙස වැඩි වී තිබෙනවා. මේ නිසා භූදේශපාලන අවධානය ඉන්දීය සාගරය දෙසට යොමු වෙනවා.

යුක්රේන යුද්ධය සහ රුසියාවට එරෙහිව බටහිර විසින් පැනවූ සම්බාධක නිසා චීනයේ සහ බටහිර ඉන්දීය සාගරයේ සම්පත්වලින් පොහොසත් ආර්ථිකයන් තුළ නව වෙළෙඳපොළවල් සොයාගැනීමට හේතු වී තිබෙනවා. උදාහරණයක් වශයෙන් රුසියානු බොරතෙල් පිරිපහදු කරනු ලබන්නේ ගල්ෆ් කලාපයේ පිරිපහදුවලයි. ලන්ඩන්හි පැවති ඒකාධිකාරීන්ගේ මූල්‍ය මධ්‍යස්ථානය ඩුබායි වෙත විතැන්ව තිබෙනවා. රුසියාව ඉරානය සමඟ සමීප මිත්‍රත්වයක් ගොඩනඟාගෙන තිබෙන අතර, එය ඩ්‍රෝන යානා සපයන වැදගත් මූලාශ්‍රයක් වෙනවා. රුසියාව මියන්මාරය සහ දකුණු අප්‍රිකාව ඇතුළු ඉන්දීය සාගරයේ රටවල් සමඟ නාවික අභ්‍යාස සිදු කරනවා. ඉරානය සහ සවුදි අරාබිය අතර විරසකය සුව කිරීමට චීනය ක්‍රියාකාරි භූමිකාවක් ඉටු කර තිබෙනවා. ඉරානය සහ එහි මිත්‍ර රටවල් බටහිර ආසියාවේ වැදගත් සක්‍රිය රටවල් බවට පත්ව තිබෙනවා. ෂැංහායි සහයෝගිතා සංවිධානය එහි සාමාජිකයන් ලෙස ඉන්දියාව, පාකිස්තානය සහ ඉරානය සිටින නිසා එහි පිටත සීමා ලෙස බටහිර ඉන්දීය සාගරය පවතිනවා. ගාසා යුද්ධයට සහාය දීමේදී එක්සත් ජනපදයේ අවවාදාත්මක විනිශ්චය එහි බලපෑම අඩු කරනවා.

“ඉන්දීය සාගරයේ ඉස්ලාමීය ආරුක්කුව බිහි කළ රටවල් අතර ඇති සතුරුකම, අමෙරිකා එක්සත් ජනපදය සහ මිත්‍රශීලි රජයන් අතර සමීප සබඳතාවක් ඇති වීම කෙටි කලකට වළක්වනු ඇත. රුසියානු, චීන සහ ඉරාන උපාය මාර්ග සාර්ථකව එක්සත් ජනපද ආධිපත්‍යයට පහර දෙමින් සිටින අතර, එමඟින් එක්සත් ජනපදය තවදුරටත් දුර්වල කරයි. එබැවින් ඉන්දීය සාගරයේ ස්ථාවරත්වය සඳහා වසර 5ක් ඇතුළත ස්වාධීන පලස්තීන රාජ්‍යය පිහිටුවීම සහ ඊශ්‍රායල් රාජ්‍යයේ ආරක්ෂාව සහතික කිරීම යන ක්‍රියාමාර්ග ඔස්සේ ගාසා යුද්ධය ඉක්මනින් අවසන් කිරීම අවශ්‍ය වෙනවා.

“තෙවනුව: යේමනය පදනම් කරගත් හවුති කැරලිකරුවන් විසින් වාණිජ යාත්‍රාවලට මෑතකදී එල්ල කරන ලද ප්‍රහාර නාවික ගමනාගමනයේ නිදහසට අභියෝගයක් වනවා. අප සූවස් ඇළ, රතු මුහුද, බබ්-එල්-මැන්ඩෙබ් සහ ඒඩන් බොක්ක සඳහා ප්‍රවේශ වීම සහ ඒ හරහා ගමනාගමනය සහතික කළ යුතුයි. ඊට අමතරව, අපට නැවත වරක් සෝමාලියානු මුහුදු කොල්ලකරුවන්ගේ තර්ජනයට මුහුණ දීමට සිදු වී තිබෙනවා. මුහුද යට කේබල්වල ආරක්ෂාව සහ වැදගත් යටිතල පහසුකම්ද තර්ජනයන්ට ලක් වී තිබෙනවා. ඉන්දීය සාගරය තුළ සිදු වන මත්ද්‍රව්‍ය ජාවාරම් සහ මිනිස් ජාවාරම් ඉහළ ගොස් තිබෙනවා. නීති විරෝධි, වාර්තා නොකළ සහ නියාමනය නොකළ (IUU) මසුන් ඇල්ලීම තවමත් සිදු වනවා. මේ තර්ජන නාවික ගමනාගමනයේ නිදහසට අභියෝග එල්ල කරනවා. ඉන්දීය සාගරයේ නාවික ගමනාගමනයේ නිදහස පිළිබඳ අප නැවත අවධානය යොමු කළ යුතු අතර, ඉන්දීය සාගරයට අයත් රටවල නිදහස පිළිබඳ සාකච්ඡා නැවත ආරම්භ කිරීමට ශ්‍රී ලංකාව ඉදිරිපත් වෙනවා.

“සිව්වැනි කාරණය: සම්බන්ධතාව පුළුල් කිරීමයි. 2050 වසර වන විට ඉන්දියාව සහ ඉන්දුනීසියාව වැනි රටවල දළ දේශීය නිෂ්පාදිතය අට ගුණයකින් ඉහළ යනු ඇති බවට පුරෝකථනය කර තිබෙනවා. දකුණු සහ බටහිර ආසියාවේ අනෙකුත් සමහර රටවලද මෙවැනිම වර්ධනයක් සිදු විය හැකි බව අපේක්ෂිතයි. මේ නිසා අතිරේක වරාය ධාරිතා මෙන්ම නව ප්‍රවාහන මාර්ගද අවශ්‍ය වෙනවා. සූවස් ඇළද ප්‍රමාණවත් නොවනු ඇති. මේ නිසා ඉන්දියාවේ නව සම්බන්ධතා මුලපිරීම් ද්විත්වය පිළිබඳ අප සතුටු වෙනවා. ඉන් පළමුවැන්න: ඉන්දියාවේ මුම්බායි සිට ඉරානය හරහා රුසියාව දක්වා යන තීරය සහ ඉන්දියාවේ මුම්බායි සිට මැදපෙරදිග හරහා යුරෝපය දක්වා යන තීරයයි. මීට සමානව බෙංගාල බොක්ක ආශ්‍රිතවද සම්බන්ධතා මුලපිරීම් සිදු වෙමින් පවතිනවා. බටහිර චීනයට ප්‍ර‍වේශ වීමේ අවකාශය සලසමින් චොංක්විං සහ ක්‍යවුක්ෆියු දක්වා දිවෙන තීරයේ වැඩ කටයුතු ආරම්භ කර තිබෙනවා. ක්‍රාහ් ගොඩබිම් පාලම ඔස්සේ සියම් බොක්ක සහ බෙංගාල බොක්ක අතර සම්බන්ධතාව ඇති කිරීමට තායිලන්තය සැලසුම් කරමින් සිටිනවා. ඉන්දියාව සහ ශ්‍රී ලංකාව, දකුණු ඉන්දියාවට කොළඹ සහ ත්‍රිකුණාමල වරාය සමඟ සම්බන්ධ විය හැකි වන අයුරින් ශ්‍රී ලංකාව කලාපීය සැපයුම් මධ්‍යස්ථානයක් බවට පත් කිරීම සඳහා රටවල් දෙක අතර ගොඩබිම් සම්බන්ධතාව පිළිබඳ ශක්‍යතා අධ්‍යයන ආරම්භ කර තිබෙනවා.

“මේ වසරේ ඉන්දීය සාගර සමුළුවේ තේමාව බවට පත් වී ඇති ‘වඩාත් ස්ථාවර හා තිරසාර ඉන්දියානු සාගරයක් කරා’ යන්න අපගේ අවධානය යොමු විය යුතු ප්‍රධාන ක්ෂේත්‍ර දෙකක් ඉස්මතු කරනවා.

“මා පෙර විස්තර කළ ආකාරයට ප්‍රධාන වශයෙන් කලාපයේ ස්ථාවරත්වය පවත්වාගෙන යෑම ඉතා වැදගත්. ඒ හා සමානව බරපතළ, වඩාත් කඩිනමින් විසඳුම් සෙවිය හැකි කාරණයක් බවට දේශගුණික අර්බුදය පත්ව තිබෙනවා. ඉන්දීය සාගරය ලොව පුරා අනෙකුත් සාගරවලට වඩා ඉහළ වේගයකින් උණුසුම් වෙමින් පවතින බව විශේෂඥයන් අනාවරණය කර තිබෙනවා. මේ තත්ත්වය පැසිෆික් සාගරයට වඩා තුන් ගුණයකින් වැඩි වන බව ඇස්තමේන්තු කර තිබෙනවා. ඒ අනුව ඉන්දීය සාගර කලාපය පුරා වෙරළබඩ ප්‍රදේශවල මුහුදු මට්ටම අඛණ්ඩව ඉහළ යන අතර, දරුණු වෙරළ ඛාදනයකට ලක් විය හැකියි. ඉන්දීය සාගරයේ ජල මට්ටමද වාර්ෂිකව මිලිමීටර් 3.7ක මට්ටමකින් ඉහළ යමින් පවතින අතර, එමඟින් ඇති වන මුහුදු විපත් වැළැක්විය නොහැකි වනු ඇති. ඉන්දීය සාගර කලාපයෙහි පවතින දූපත් රාජ්‍ය අවදානමට ලක් විය හැකි අතර, දේශගුණික විපර්යාසවල බලපෑම් අවම කිරීම සඳහා ඒ රාජ්‍යයන්ට ප්‍රමාණවත් සම්පත් සැපයිය යුතුයි. මුහුදේ සිදු වන වෙනස්වීම් මෝසම් සංවහන රටා කෙරෙහිද බලපාන අතර, ඉන්දීය සාගර කලාපය තුළ පවතින කෘෂිකර්මාන්තය හා ආහාර සුරක්ෂිතතාව කෙරෙහිද බලපානවා. එක් අතකින් ඒවා ජෛව විවිධත්වය කෙරෙහිද අනෙක් අතට මුහුදුබඩ ප්‍රදේශවල ජනතාවගේ ආහාර සහ ජීවනෝපාය කෙරෙහිද බලපානවා.

“ඉන්දීය සාගරය පරිසර විද්‍යාව සම්බන්ධයෙන්ද අවස්ථා නිර්මාණය කර තිබෙනවා. කාබන් සඳහා අපගේ විශාලතම අවශෝෂක ප්‍රදේශය ලෙස පමණක් නොව, එය වෙරළබඩ සුළං, සූර්ය සහ තරංග ශක්තිය හරහා දේශගුණික අර්බුදය අවම කිරීමේ හැකියාවද සපයනවා. මුහුදු පැළෑටි වගාව සහ කඩොලාන වගාව මඟින් අපට කාබන් අවශෝෂණය වැඩි කළ හැකියි. සාගරය අපගේ අනාගතය නිර්මාණය කරන බැවින් අපගේ සාගර සම්පත් තිරසර ලෙස ප්‍රයෝජනයට ගැනීම අපගේ පැවැත්ම සඳහා ඉතා වැදගත් වෙනවා.

“COP 28හිදී ශ්‍රී ලංකාව ප්‍රධාන මුලපිරීම් තුනක් යෝජනා කළා. ඉන්දීය සාගරයද ඇතුළත් වන නිවර්තන කලාපීය මුලපිරීම, ජාත්‍යන්තර දේශගුණික විපර්යාස විශ්වවිද්‍යාලය සහ දේශගුණික යුක්ති සංසදය එම යෝජනා 3යි. ඉන්දීය සාගර කලාපීය වටද්දර රටවල සංගමයේ (IORA) වත්මන් සභාපතිවරයා ලෙස ශ්‍රී ලංකාව ඉන්දීය සාගරය සහ දේශගුණික විපර්යාස අතර පවතින අන්තර් රඳා පැවැත්ම කෙරෙහි අවධානය යොමු කරනවා.

දේශගුණික යුක්ති සංසදය මඟින් හානි හා පාඩු සඳහා මූල්‍යකරණය වේගවත් කිරීම අරමුණු කරන අතර, සමස්ත විසඳුමේ අත්‍යවශ්‍ය අංගයක් ලෙස ණය සාධාරණත්වය ඇතුළත්. දේශගුණික විපර්යාස අවම කිරීම් සහ අනුවර්තන මැදිහත්වීම් සඳහා වන ඕනෑම යෝජනාවකදී දේශගුණික අවදානමට ලක් විය හැකි සහ සංවර්ධනය වෙමින් පවතින රටවල් මුහුණ දෙන ණය සංරචකය සැලකිල්ලට ගත යුතුයි.

“අද අප සියලු දෙනා ජීවත් වන්නේ අවිනිශ්චිත කාලයකයි. දෙවැනි ලෝක සංග්‍රාමයේ සහ සීතල යුද්ධයේ අවසානයේ සිට අප විසින් ලබාගෙන තිබූ ස්ථාවරත්වය බිඳවැටෙමින් තිබෙනවා. බහුපාර්ශ්විකත්වය මෙන්ම ගෝලීයකරණයද අභියෝගයට ලක්ව තිබෙනවා.

දේශගුණික අර්බුදය ලොව පුරා වෙළෙඳාම සහ ආර්ථික සංවර්ධනය සඳහා වූ අපේක්ෂාවන්ට බලපානවා. එය ආහාර සුරක්ෂිතතාව, ජීවනෝපාය, සැපයුම් දාම, ජෛව විවිධත්වය සහ සමුද්‍රීය ප්‍රවාහනයටද බලපානවා. එක් පසෙකින් ගෝලීය වර්ධනයන් අපගේ ඉරණම තීරණය කරන තෙක් බලා සිටිය හැකියි. නැත හොත් අපට අපගේම ගමන් මඟ සකස් කරගැනීමට හැකියාව පවතිනවා. ඉන්දීය සාගරය භාවිත කරන්නන් අතර විශ්වාසය සහ පුරෝකථනය කිරීමේ හැකියාව ගොඩනැඟීම මෙන්ම සාගර තත්ත්වය පිළිබඳ දැනුවත්භාවය වැඩි දියුණු කිරීම මඟින් ආරක්ෂිත සාගර පරිසරයක් නිර්මාණය කිරීම ඉන්දීය සාගරයේ සාමය සහ ආරක්ෂාව පවත්වා ගැනීම සඳහා ප්‍රධාන වෙනවා. මේ වැදගත් කාර්යය භාර ගත හැකි ප්‍රධාන වේදිකාව වන්නේ ඉන්දීය සාගර කලාපීය වටද්දර රටවල සංගමය (IORA) යි.

“සාමකාමි සහ ආරක්‍ෂිත ඉන්දීය සාගරයක් සහතික කිරීම, වෙරළබඩ සහ මුහුදුබඩ රාජ්‍යයන්වල ආර්ථික හා සමාජීය ප්‍රතිලාභ සඳහා සාගර තිරසර ලෙස භාවිත කිරීමට පහසුකම් සපයනවා. එමෙන්ම ඉන්දීය සාගරය තුළ පවතින තීරණාත්මක ගැටලු විසඳාගැනීමට හැකි පුළුල් සැලැස්මක් අවශ්‍ය වෙනවා.

එක්සත් ජාතීන්ගේ සාගර නීතිය පිළිබඳ සම්මුතිය (1982) සහ ජාතික අධිකරණ බලයෙන් පිටත හෝ විවෘත සාගර ගිවිසුමෙන් පිටත සාගරයේ ජෛව විවිධත්වය සංරක්ෂණය කිරීම හා තිරසරව භාවිත කිරීම පිළිබඳ 2023දී සම්මත කරන ලද ගිවිසුම (BBNJ) ඇතුළුව එවැනි ව්‍යූහයක් ඇති කිරීම සඳහා අවශ්‍ය වන පදනම දැනටමත් පවතිනවා.

“නාවික හා ගුවන් ගමනාගමනයේ නිදහසට බාධාවක් සිදු නොවන වාණිජ්‍යමය කටයුතු පිළිබඳ චර්යාධර්ම සංග්‍රහයක් මෙන්ම දේශගුණ අර්බුදය සමඟ කටයුතු කිරීම හා ඉන්දියන් සාගරයේ තිරසර භාවිතය සම්බන්ධයෙන් සමාන මාර්ගෝපදේශ මූලධර්ම අවශ්‍ය වෙනවා. මේ පියවර ඉන්දීය සාගර කලාපය සඳහා පුළුල් කලාපීය සැලැස්මක් නිර්මාණය කිරීමට පරිවර්තනය කර ඇති බව සහතික කිරීම ඉන්දීය සාගර කලාපීය වටද්දර රටවල සංගමයේ (IORA) නායකයන්ට පමණක් කළ හැකි වෙනවා. ඒ වගකීම අප සතුව පවතිනවා.”

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT

Hutch Hutch
x