Monday, June 17, 2024
Home » නායිකාවන් බිහි වන යුගය ඇරඹිලා මන්ත්‍රීනි, ආචාර්ය හරිනි අමරසූරිය
රට පුරා කාන්තා නැඟිටීම්

නායිකාවන් බිහි වන යුගය ඇරඹිලා මන්ත්‍රීනි, ආචාර්ය හරිනි අමරසූරිය

by sachintha
February 12, 2024 1:00 am 0 comment

 

අද රටේ සෑම දිස්ත්‍රික්කයක් තුළින්ම කාන්තාවන්ගේ නැඟිටීමක් දක්නට ලැබෙන බවත් සෑම ස්ථරයකින්ම කාන්තා නායිකාවන් බිහිවෙන යුගයක් බිහිවෙමින් තිබෙන බවත් රටට අවශ්‍ය වෙලා තිබෙන්නේ එවැනි පිබිදීමක් බව පාර්ලිමේන්තු මන්ත්‍රීනි, ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය පැවසුවාය.

ඇය මෙසේ පැවසුවේ පෙරේදා (10) මහනුවරදී පැවති ජාතික ජන බලවේගයේ මහනුවර දිස්ත්‍රික් කාන්තා සමුළුව අමතමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරිය මෙසේ ද කීවාය.

“කාන්තාවන්ට බලයක් දීල රට තුළ බලාපොරොත්තු වන සමාජ පරිවර්තනයට මැදිහත් වෙන්න පුළුවන් ශක්තිමත් බලවේගයක් අප ගොඩනැඟුවා. අපට තව යන්න දිගු ගමනක් තිබෙනවා. අප දන්නවා ඉතිහාසය පුරාවටම විවිධ දේශපාලන ව්‍යාපාර මඟින් කාන්තාවන්ව පාවිච්චි කරල තියෙනවා. කාන්තාවන්ගේ ඡන්දවලින් ඔවුන්ට බලයට එන්න අවශ්‍ය වුණා. නමුත් ඒ බල ව්‍යාපෘති තුළ කාන්තාවන්ට කිසිම වටිනාකමක් ලැබුණේ නැහැ. ඒ ව්‍යාපාරවල ඔවුන්ගේ නියෝජනයක් තිබුණෙත් නැහැ. 1931 අපට ඡන්ද අයිතිය ලැබුණා. 1948 සිට මහජන නියෝජිතවරියන් සිටියත් කිසිම අවස්ථාවක 5% ඉක්මවා ගිය කාන්තා නියෝජනයක් තිබුණේ නැහැ. ලෝකේ පළමු අගමැතිවරියත් පත්වුණා. ජනාධිපතිවරියත් පත්වුණා. නමුත් සමස්ත ගැහැනු හැටියට දේශපාලන වේදිකාව තුළත් දේශපාලන බල ව්‍යාපෘති තුළත් අපව පාවිච්චි කළා හැරෙන්න ඇත්තටම අපට අර්ථවත් තැනක් බලයක් ලැබුණේ නැහැ.

ඒක වෙනස් කිරීමේ අරමුණින් තමයි ගැහැනු අප එක මිටට යන තේමාව යටතේ මේ වැඩපිළිවෙළ ආරම්භ කළේ. අපේ මූලික අවශ්‍යතාව වන්නේ අපව පාවිච්චි කරපු ඒ යුගය අවසන් කරල නියත වශයෙන්ම අර්ථවත් විදියට ගැහැනුන්ට බලයක් වටිනාකමක් සහ දේශපාලන ජීවිතයකට අවශ්‍ය අවස්ථාව හදා ගැනීම. ඒ වෙනුවෙන් තමයි අප මේ එකතු වෙලා ඉන්නේ. කෙසේ වෙතත් බොහොම පැහැදිලියි දේශපාලන වේදිකාව උඩු යටිකුරු කරන විශාල බලවේගයක් බවට අප පත්වෙමින් ඉන්නවා. ඒ නිසාම තමයි ප්‍රතිවාදීන් මේ නැඟිටීම පිළිබඳ බය වෙලා ඉන්නේ.

අප මේ සංවිධානය වෙමින් යන්නේ නිකම්ම නිකක් ගැහැනු ව්‍යාපාරයක් නෙමෙයි. මේකේ විශේෂත්වයක් තිබෙනවා. ඉතිහාසය පුරාවටම මේ රටේ ගැහැනු විවිධ අවස්ථාවලදී අරගල කරල තිබෙනවා. අපේ නිදහස් අරගලය තුළ සිද්ධ වුණේ අධිරාජ්‍යවාදීන්ගෙන් දේශීය ප්‍රභූ පන්තියට බලය මාරු වුණ එක. ඒ ප්‍රභූ පන්තියට අවශ්‍ය වුණේ ඔවුන්ගේ බලය තහවුරු වෙන විදිහේ දේශපාලන ප්‍රතිසංස්කරණයක් මිස මේ සමාජයේ හිටපු සියලු ස්ථර කණ්ඩායම් හරහා ඔවුන්ගේ අතට බලය ලබා ගැනීම පමණයි. සමාජ පරිවර්තනයක් ගැන ඔවුන්ගේ අවධානය යොමු වුණේ නැහැ.

මේ වගේ තීරණාත්මක සෑම අවස්ථාවකම කාන්තාව එළියට බැස්සා. කාන්තාව සමාජයෙන් තමන්ට ඉටුවිය යුතු යුක්තිය වෙනුවෙන් එළියට බැස්සා. සමාජයේ යුක්තිය වෙනුවෙන් පෙනි සිටියා. නමුත් කාන්තාවන්ගේ ඒ සංවිධානය වීම බලයට ආපු සෑම කණ්ඩායමක්ම අමතක කළා. ඒක වෙනස් කිරීම තමයි අද අවශ්‍ය වෙලා තියෙන්නේ. තවදුරටත් අපේ හඬ නොසලකා ඉන්න පුළුවන්කමක් නැහැ. ඒ නිසා තමයි මේ විදියට සංවිධානය වෙලා තියෙන්නේ. අද ශ්‍රී ලාංකික ගැහැනිය එළියට බැහැල තියෙන්නේ. තවදුරටත් ඇගේ හිස මත පටවලා තිබෙන පීඩනය ඉවසා ගැනීමේ සීමාව ඉක්මවා ගිහිල්ලා තියෙන නිසා”

කටුගස්තොට සමූහ – එස්.ජී. විජේරත්න

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT

Hutch Hutch
x