Home » සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන්ට මහ කන්නයේ වී මිලදී ගන්න ‘ඔඩපණ’ ණය යෝජනා ක්‍රමය එයි

සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන්ට මහ කන්නයේ වී මිලදී ගන්න ‘ඔඩපණ’ ණය යෝජනා ක්‍රමය එයි

ජනාධිපති ප්‍රජා කටයුතු අධ්‍යක්ෂ ජනරාල්, රජිත් කීර්ති තෙන්නකෝන්

by mahesh
February 16, 2024 1:00 am 0 comment

සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන්, වී ගබඩාකරුවන් හා වී තොග රැස් කරන්නන් තම කර්මාන්තය පවත්වාගෙන යෑමේදී මුහුණ දී ඇති මූල්‍ය දුෂ්කරතා මඟහරවා ගනිමින් මෙවර මහ කන්නයේ වී අස්වැන්න මිලදී ගැනීමට “ඔඩපණ” ණය යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් පරිදි පියවර ගෙන තිබෙන බව ජනාධිපති ප්‍රජා කටයුතු අධ්‍යක්ෂ ජනරාල්, රජිත් කීර්ති තෙන්නකෝන් මහතා පැවසීය.

මහජන බැංකුව, ලංකා බැංකුව හා ප්‍රාදේශීය සංවර්ධන බැංකුව වෙතින් මේ ණය පහසුකම සපයා දී තිබෙන බව ද ඒ මහතා සඳහන් කළේය. ජනාධිපති ප්‍රජා කටයුතු අධ්‍යක්ෂ ජනරාල්, රජිත් කීර්ති තෙන්නකෝන් මහතා මේ බව සඳහන් කළේ සුළු හා මධ්‍ය පරිමාණ සහල් කර්මාන්තකරුවන් මුහුණ දී ඇති ගැටලු පිළිබඳ ජනාධිපති කාර්යාලයේ පෙරේදා (14) පැවති සාකච්ඡාවකදී ය.

අදාළ ණය යෝජනා ක්‍රමය යටතේ රුපියල් බිලියන 09ක ඔඩපණ ණය නිකුත් කිරීමට අපේක්ෂා කෙරෙන අතර සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන් සඳහා රුපියල් මිලියන 50කද, වී ගබඩා හිමිකරුවන් සහ වී තොග රැස් කරන්නන් සඳහා රුපියල් මිලියන 25කද උපරිම ණය මුදලක් ලබාදෙනු ඇත.

ණය ආපසු ගෙවීමට දින 180ක කාලසීමාවක් හිමි වෙයි. 15%ක් වන වාර්ෂික පොලී අනුපාතයෙන් 4%ක් මහා භාණ්ඩාගාරය විසින් අදාළ බැංකු වෙත ලබා දෙයි. ඒ අනුව අදාළ ණය ගැනුම්කරුවන් විසින් ගෙවිය යුත්තේ 11%ක වාර්ෂික පොලී අනුපාතයක් පමණි. ගොවියාට හොඳ වී මිලක් ලබා දෙමින් ජනතාවට ද සාධාරණ මිලකට සහල් ලබා ගැනීමේ අවස්ථාව ලබාදීම මේ ණය යෝජනා ක්‍රමයේ අරමුණ බව රජිත් කීර්ති තෙන්නකෝන් මහතා පැවසීය.

මහ කන්නයේ වී අස්වනු නෙළීම ආරම්භ වීමත් සමඟ ගොවියාට වී කිලෝවක් සඳහා (නාඩු කිලෝවකට රුපියල් 105ක්, සම්බා කිලෝවකට රුපියල් 120ක් සහ කීරි සම්බා කිලෝවකට රුපියල් 130ක්) සහතික මිලක් ලබාදීම වෙනුවෙන් මේ ණය ප්‍රදානය කෙරේ. යෝජිත වී මිලදී ගැනීමේ වැඩසටහන ක්‍රියාත්මක කිරීමට අදාළව මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති ඇමැතිවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පසුගිය ජනවාරි 24 දින ඉදිරිපත් කළ සංදේශය සඳහා ඇමැති මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

ආර්ථික අර්බුදය හේතුවෙන් සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන්ට මූල්‍ය ගැටලු රැසකට මුහුණ දීමට සිදුව තිබූ අතර ඒ හේතුවෙන් කර්මාන්තය ආශ්‍රිතව පැන නැගී ඇති ගැටලු පිළිබඳව ද මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි. කෘෂිකර්ම අමාත්‍යාංශයේ සහ ආදළ රේඛීය ආයතනවල නිලධාරීන් සහ සමස්ත ලංකා සහල් කර්මාන්තකරුවන්ගේ සංගමයේ නියෝජිතයන් මෙන්ම මහජන බැංකුව, ලංකා බැංකුව හා ප්‍රාදේශීය සංවර්ධන බැංකුවල නියෝජිතයන් ඇතුළු පිරිසක් මේ සාකච්ඡාවට එක්ව සිටියහ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT