Home » දේශීය ආයතන හරහා සංහිඳියාව මානව හිමිකම්වල ප්‍රගතියක් අත්කර ගැනීමට කැපවෙනවා

දේශීය ආයතන හරහා සංහිඳියාව මානව හිමිකම්වල ප්‍රගතියක් අත්කර ගැනීමට කැපවෙනවා

by mahesh
February 16, 2024 1:00 am 0 comment

මහින්ද අලුත්ගෙදර

ශ්‍රී ලංකාව එක්සත් ජාතීන්ගේ සංවිධානය සමඟ ඵලදායි ලෙස කටයුතු කරන අතරම ස්වෛරීභාවය සුරකිමින් දේශීය ආයතන හරහා සංහිඳියාව සහ මානව හිමිකම්වල ප්‍රගතියක් ලබා ගැනීමට කැපවන බව විදේශ ඇමැති අලී සබ්රි මහතා ප්‍රකාශ කරයි. මානව හිමිකම් පිළිබඳ අන්තර් අමාත්‍යාංශ ස්ථාවර කමිටුවේ මංගල රැස්වීම විදේශ කටයුතු අමාත්‍යාංශයේ දී පැවැති අතර එහිදී ඇමැතිවරයා මේ බව සඳහන් කළේය.විදේශ ලේකම් අරුණි විජේවර්ධන මහත්මිය මෙන්ම රේඛීය අමාත්‍යාංශ සහ ආයතන 16ක් නියෝජනය කරන රාජ්‍ය නිලධාරීන් ඒ සඳහා එක්වූ බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.

මානව හිමිකම් පිළිබඳ අන්තර් අමාත්‍යාංශ ස්ථාවර කමිටුව පිහිටුවීමෙන් මානව හිමිකම් ආරක්ෂා කිරීම, ප්‍රතිසන්ධානය පෝෂණය කිරීම සහ ජාත්‍යන්තර වගකීම් ඉටුකිරීම සහතික කිරීම සඳහා ශ්‍රී ලංකා රජය දක්වන කැපවීම පෙන්නුම් කරන බව විදේශ ඇමැති අලී සබ්රි මහතා මෙහිදී අවධාරණය කළේය.ශ්‍රී ලංකාව එක්සත් ජාතීන්ගේ සංවිධානය සමඟ ඵලදායි ලෙස අඛණ්ඩව කටයුතු කරන බව පෙන්වා දුන් ඒ මහතා ස්වෛරීභාවය සුරකිමින් දේශීය ආයතන හරහා සංහිඳියාව සහ මානව හිමිකම් සම්බන්ධයෙන් ප්‍රගතියක් ලබා ගැනීමට කැප වී සිටින බව ද හෙතෙම පෙන්වා දුන්නේය.

විදේශ ලේකම් අරුණි විජේවර්ධන මහත්මිය-

මානව හිමිකම් කවුන්සිලය (HRC) ඇතුළු එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් යන්ත්‍රණයට සම්බන්ධවීම සඳහා ශ්‍රී ලංකා රජයේ ප්‍රතිචාරය ඵලදායී ලෙස සම්බන්ධීකරණය කිරීම සඳහා ස්ථාවර ජාතික රාමුවක් ලෙස අන්තර් අමාත්‍යාංශ ස්ථාවර කමිටුවේ වැදගත්කම පෙන්වා දුන්නාය. විශ්ව කාලාන්තර සමාලෝචනය (UPR), විශේෂ ක්‍රියා පටිපාටි බලතල දරන්නන් (SPMHs) සහ ගිවිසුම් ආයතන ඒ අතර වන බව ද සඳහන් කළාය.

රාජ්‍ය රේඛීය ආයතන 21කින් සමන්විත ද්වි-ස්ථර ක්‍රියාවලියක් ලෙස ක්‍රියාත්මක වන අන්තර් අමාත්‍යාංශ ස්ථාවර කමිටුවේ ව්‍යුහය පිළිබඳ දළ විශ්ලේෂණයක් ද ලේකම්වරිය විසින් ඉදිරිපත් කළාය. ශ්‍රී ලංකාව පාර්ශ්වකරුවකු වන ජාත්‍යන්තර මානව හිමිකම් සම්මුතීන් යටතේ වගකීම් වාර්තා කිරීමේ තත්ත්වය පිළිබඳ යාවත්කාලීන කිරීමක් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් අංශය විසින් සපයා තිබේ.

2023 වසරේ දෙසැම්බර් 11 වැනි දින අමාත්‍ය මණ්ඩලයේ අනුමැතියට අනුව පිහිටුවන ලද මානව හිමිකම් පිළිබඳ අන්තර් අමාත්‍යාංශ ස්ථාවර කමිටුව (IMSC) මානව හිමිකම් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ ස්වේච්ඡා ජාත්‍යන්තර කැපවීම් කාර්යක්ෂම සම්බන්ධීකරණය සහ වාර්තා කිරීම සහතික කිරීම සඳහා ස්ථාවර ජාතික රාමුවක් ලෙස අපේක්ෂා කරයි. ස්ථර දෙකක ක්‍රියාවලියක් වශයෙන් මේ කමිටුව ක්‍රියාත්මක වෙයි.

පළමු ස්ථරය විදේශ කටයුතු ඇමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් යුත් ඉහළ මට්ටමේ කමිටුවක් වන අතර එය අවශ්‍ය පරිදි සෑම මාස හතරකට වරක් කැඳවයි. එහිදී ඉහළ ප්‍රමුඛතාවක් සහ වැදගත්කමක් ඇති කරුණු සම්බන්ධයෙන් ප්‍රතිපත්තිමය තීරණ ගනු ලබයි. දෙවන ස්ථරය වන්නේ විදේශ ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් යුත් ජ්‍යෙෂ්ඨ නිලධාරි මට්ටමේ කමිටුව වන අතර එය ප්‍රගතිය නිරීක්ෂණය කරන අතර අවශ්‍ය පරිදි මාසිකව රැස්වේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT