සාගර දූෂණය අවම කිරීමේ අරමුණින් තෙල් විසිරීම පාලනය සම්බන්ධයෙන් වන පෙරහුරුවක් හම්බන්තොට ජාත්‍යන්තර වරාය මගින් සංවිධානය කර තිබේ. මුහුදට තෙල් ඉහිරීමේ ආපදාවක් ඇතිවුවහොත් එය මැඬීමට තම හදිසි සේවාවන්හි පෙර සූදානම තවදුරටත් ශක්තිමත් කිරීමේ අටියෙන් විශේෂ පෙරහුරුවක් හම්බන්තොට ජාත්‍යන්තර වරාය ආශ්‍රිතව පවත්වා තිබෙන අතර ශ්‍රි ලංකා වෙරළාරක්ෂක බළකාය සහ ශ්‍රී ලංකා නාවික හමුදාව සමඟ එක්ව සිදු කර ඇත.
හම්බන්තොට ජාත්‍යන්තර වරාය සමූහයේ (HIPG) ප්‍රධාන විධායක නිලධාරී ජොන්සන් ලියු මහතා පවසන්නේ, ‘’අප සැමවිටම අනපේක්ෂිත සිදුවීම්වලට සූදානම්ව සිටින අතර අනතුරු වළක්වා ගැනීම සඳහා සියලුම සෞඛ්‍ය ආරක්‍ෂිත පියවර ක්‍රියාත්මක කර තිබෙන බවයි. ඒ නිසාම මෙවැනි පෙරහුරු අපගේ ප්‍රමිති මෙහෙයුම් ක්‍රියාපිළිවෙතේ අත්‍යවශ්‍ය අංගයක්. ප්‍රමිතිය, සෞඛ්‍යය, ආරක්ෂාව සහ පරිසරය කෙරෙහි විශේෂ අවධානයක් යොමු කිරීම වෙනුවෙන් ISO සහතික ලත් එකම ශ්‍රී ලාංකික වරාය HIP වන අතර අප විසින් කරන ලද මේ තෙල් විසිරීම පාලනය කිරීමේ පෙරහුරුව ද ISO ප්‍රමිතීන්ට අනුකූලව සිදු කර තිබෙනවා’’
මෙවන් පෙරහුරු හදිසි අවස්ථා සඳහා වරායේ සූදානම ඉතා ඉහළම තත්ත්වයක තබා ගැනීමට මෙන්ම තම ප්‍රතිචාර හැකියාව නිරතුරුවම තියුණු කරමින් දේශීය හා ජාත්‍යන්තර රෙගුලාසිවලට අනුකූල වීම සඳහා HIP ට ඇති කැපවීම තහවුරු කරන්නක් බව හම්බන්තොට ඉන්ටර්නැෂනල් පෝර්ට් සර්විසස් සමාගමේ (HIPS) ප්‍රධාන විධායක නිලධාරී කපිතාන් රවී ජයවික්‍රම මහතා පවසයි. “මෙවැනි පෙරහුරු මගින් තෙල් ඉහිරීමක් ඇතිවුවහොත් අපගේ කණ්ඩායම් ගත යුතු ක්‍රියාපටිපාටීන් පිළිබඳ වටිනා පුහුණු අවස්ථා ලබා දෙනවා. විශේෂිත උපකරණ භාවිතය, ප්‍රතිචාර ක්‍රියාත්මක කිරීම සහ සැබෑ ආපදාවකදී ඔවුන්ගේ කාර්යයන් සහ වගකීම් අවබෝධ කර ගැනීමට මෙය ඉවහල් වෙනවා. මේ අභ්‍යාසය මඟින් අපගේ තෙල් විසිරීම වළක්වන උපකරණ (booms) සහ ඉහිරුණු තෙල් එකතු කරන (skimmers) උපකරණවල ක්‍රියාකාරීත්වය පරීක්ෂා කිරීමට සහ ඒවාහි නිවැරදිතාව පරීක්ෂා කිරීමට ද අවස්ථාව දෙනවා. මෙමගින් ඉහිරීමක් සිදුවුවහොත් පරිසරයට සහ ප්‍රජාවට සිදුවන බලපෑම අවම කර ගැනීමට අපට හැකියි.