Sunday, May 11, 2025
Home » මෛත්‍රීගේ ශ්‍රීලනිප සභාපති ධුරය පිළිබඳ නියෝගය මාර්තු 25

මෛත්‍රීගේ ශ්‍රීලනිප සභාපති ධුරය පිළිබඳ නියෝගය මාර්තු 25

by mahesh
February 16, 2024 1:00 am 0 comment

චන්දන ජයවීර

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධුරය දැරීම වළකාලන තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා එම පක්ෂයේ කාරක සභිකයකු වන මාලඹේ පදිංචි මොන්ටේගු සරත්චන්ද්‍ර නමැති අය ගොනුකර ඇති නඩුව සම්බන්ධයෙන් නියෝගය ලබන මාර්තු 25දා ප්‍රකාශයට පත් කරන බව කොළඹ ප්‍රධාන දිසා විනිසුරු සඳුන් විතාන මහතා ඊයේ (15) ප්‍රකාශ කළේය.

පක්ෂ සභාපති හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන, හිටපු ප්‍රධාන ලේකම් දයාසිරි ජයසේකර, භාණ්ඩාගාරික ලසන්ත අලගියවන්න හා ජාතික සංවිධායක දුමින්ද දිසානායක යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් මෙහි වගඋත්තරකරුවන් ලෙස නම් කර ඇත.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ව්‍යවස්ථාව අනුව ජනාධිපතිවරයා ලෙස පත්වූ අයකුට පක්ෂ සභාපති ධුරය දැරීමට හැකි වුවද ජනාධිපති ධුරය අහෝසි වීමෙන් පසුව සභාපති ධුරය දැරීම නීත්‍යනුකූල නොවන බවත් පක්ෂයේ අනුශාසක ධුරය දරමින් සිටියදී එම ධුරයට අමතරව සභාපති ධුරය දැරීම නීතිය හමුවේ බල රහිත ක්‍රියාවක් බවත් පැමිණිලිකරුගේ නීතිඥ දිනේෂ් ද සිල්වා මහතා අධිකරණයට කරුණු දක්වමින් සඳහන් කළේය.

සිරිසේන මහතා සභාපති ධුරයට පත්වූ 2022 පෙබරවාරි 25 වැනි දින පැවැති විධායක කාරක සභා විශේෂ රැස්වීම පක්ෂ ව්‍යවස්ථාවට පටහැනිව පවත්වා ඇති බවද පැමිණිලිකරුගේ නීතිඥ අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටින ලදී.

එසේම පක්ෂයේ හිටපු සභාපති, අනුශාසක හිටපු ජනපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියට ආරාධනා නොකර පවත්වා ඇති රැස්වීමක් මගින් සභාපති ධුරයට නම් කිරීම සිදුව ඇති බැවින් එය නීති විරෝධී නම් කිරීමක් බවද විත්තිකාර මෛත්‍රීපාල සිරිසේන මහතා පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් වගකිව යුතු සාපරාධී පුද්ගලයකු බවට ජනාධිපති කොමිෂන් සභාව නිගමනය කර ඇති බැවින් ඔහුට එරෙහිව දණ්ඩ නීති සංග්‍රහය යටතේ නීතිපතිවරයා විසින් නඩු පැවැරිය යුතු බවට කොමිසම මඟින් නිර්දේශ කර ඇති බවත් පෙන්වා දුන් නීතිඥවරයා පැමිණිලිකරු සම්බන්ධ එම නිර්දේශ කිසිදු අධිකරණයකින් මෙතෙක් අභියෝගයට ලක්ව නොමැති බව කියා සිටියේය. මෙවැනි පසුබිමක් තුළ නීති විරෝධී විශේෂ රැස්වීමකින් පත්වී ඇති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ශ්‍රීලනීප සභාපති ධුරය තහනම් කරන නියෝගයක් නිකුත් කරන ලෙස පැමිණිලිකරු අධිකරණයෙන් ඉල්ලා ඇත.

විත්තිකාර මෛත්‍රීපාල සිරිසේන මහතා වෙනුවෙන් ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාපා සමඟ නීතිඥ සංජීව කළුආරච්චි, නීතිඥ පුලස්ති රූපසිංහ යන මහත්වරු පෙනී සිටිති. පැමිණිලිකරු වෙනුවෙන් නීතිඥ දිනේෂ් ද සිල්වා මහතා අධිකරණය හමුවේ පෙනී සිටියේය. මේ පිළිබඳ නියෝගය ඊයේ (15) නිකුත් වීමට නියමිතව තිබුණ ද තීන්දුව ප්‍රකාශ කිරීම ලබන 25දාට කල් ගියේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT