Home » වෙළෙඳසල්වලට ගොස් ඩර්ටි වැඩ කරන ‘ක්ලීන් මෑන්’ අල්ලගන්න පොලිස් පරීක්ෂණ

වෙළෙඳසල්වලට ගොස් ඩර්ටි වැඩ කරන ‘ක්ලීන් මෑන්’ අල්ලගන්න පොලිස් පරීක්ෂණ

by mahesh
February 16, 2024 1:00 am 0 comment

ගලේවෙල මධ්‍යම සමූහ - පී. ජී. ගුණතිලක

මුදල් නොදී පාරිභෝගික භාණ්ඩ රැගෙන පලායන පුද්ගලයෙක් ගලේවෙල හා පුවක්පිටිය යන නගරවල සැරිසරන බව ව්‍යාපාරිකයෝ පවසති. මෙම පුද්ගලයා අවසන් වතාවට මෙසේ පාරිභෝගික භාණ්ඩ රැගෙන ගොස් ඇත්තේ පසුගිය සතියේ පුවක්පිටිය නගරයේ තිබූ සිල්ලර වෙළෙඳසලකිනි. මෙම පුද්ගලයා පසුගිය සතියේ දිනක අදාළ වෙළෙඳසලට පැමිණ තමන්ට රුපියල් 25,000ක පමණ පාරිභෝගික භාණ්ඩ මිලට ගැනීමට අවශ්‍ය බව වෙළෙඳසල් හිමියාට පවසා ඇත. අනතුරුව සිගරැට්, බිස්කට්, කේක්, හාල් හා සීනි ආදිය වෙළෙඳසලෙන් ලබාගෙන දුම්කොළයක් මිලදී ගැනීමට අවශ්‍යයැයි පවසා බොරු හදිසියක්ද පෙන්වා වෙළෙඳසලෙන් පිටව ගොස් ඇත. මෙසේ ගොස් ඇත්තේ ඔහු ඇණවුම් කළ භාණ්ඩවලින් කොටසක්ද රැගෙනය. පැය භාගයක් ඉකුත්වූ නමුත් ඔහු නොපැමිණීම නිසා වෙළෙඳසලෙන් පිටට ගොස් සොයා බලා ඇත. එහිදී ඔහුට දැන ගැනීමට හැකිවී ඇත්තේ එම බඩුද රැගෙන ගලේවෙල නගරය දෙසට එම පුද්ගලයා පලාගොස් ඇති බවයි. ඔහු රැගෙන ගිය භාණ්ඩවල වටිනාකම රුපියල් 22,000ක් පමණ බව වෙළෙඳසල් හිමියා පැවැසීය. මොහු ඔරලෝසුවක් පැලඳ පිරිසිදුව හැඳපැලඳගත් පුද්ගලයෙක් බව ව්‍යාපාරිකයෝ පවසති. වයස අවුරුදු 55ක් පමණ වන මෙම පුද්ගලයා ගලේවෙල නගරයේ වෙළෙඳසල් කිහිපයකට ගොස් පාරිභෝගික භාණ්ඩ රැගෙන යාමට උත්සාහ කර ඇති බව ඔවුහු පැවසූහ. ගලේවෙල පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක විපුල බණ්ඩාර මහතාගේ උපදෙස් සී. සී. ටී. වී. කැමරා ඡායාරූප ඔස්සේ පරීක්ෂණ පවත්වයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT