මෝදර අලුත් මාවත ප්‍රදේශයේදී සිදු කළ හදිසි මෙහෙයුමක දී රුපියල් ලක්ෂ පනහකට අධික වටිනාකමින් යුත් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව විශේෂ කාර්ය බළකාය පවසයි.
වැඩ බලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ උපදෙස් මත ක්‍රියාත්මක යුක්තිය මෙහෙයුම යටතේ විශේෂ කාර්ය බළකායේ බුද්ධි කොට්ඨාසයට ලද තොරතුරකට අනුව මෙම මෙහෙයුම දියත් කර තිබුණි.
එහිදී විශේෂ කාර්ය බළකායේ බුද්ධි කොට්ඨාසයේ උප පොලිස් පරීක්ෂක ගුණසෝම මහතා ඇතුළු නිලධාරී කණ්ඩායමක් මෝදර අලුත් මාවත අසල රැඳී සිටි පුද්ගලයකු පරීක්ෂා කිරීමේදී ඔහු සන්තකයේ තිබී ඩයිසැටයිල්මෝර්ෆින් නොහොත් හෙරොයින් ග්‍රෑම් 112යි, මිලිග්‍රෑම් 690ක් සහ මෙත්ඇම්පිටමින් නොහොත් අයිස් ග්‍රෑම් 25යි, මිලි ග්‍රෑම් 700ක් භාරයට ගත් බව පවසයි.
ඒ අනුව සැකකරු සහ මත්ද්‍රව්‍ය තොගය අත්අඩංගුවට ගෙන ඔහු පැමිණි බවට සැක කෙරෙන යාබද අලුත් මාවතේ නවතා තිබූ සුඛෝපභෝගී ජීප් රථය පරීක්ෂා කිරීමේදී එහි කැබිහෝල්හී සඟවා තිබූ අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 25යි, මිලිග්‍රෑම් 850ක්, ඒවා කිරා මැනීමට භාවිතා කරන විද්‍යුත් තරාදියක් හා රුපියල් 170,000 මුදලක් පොලිස් භාරයට ගෙන තිබේ.
පසුව මත්ද්‍රව්‍යය ප්‍රවාහනය කළ සැකකරු පැමිණි සුඛෝපභෝගී ජීප් රථයද පොලිස් භාරයට ගෙන තිබේ.
සැකකරු මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාලයකට අයත් මත්ද්‍රව්‍ය මෙසේ බෙදාහරින්නට ඇති බවට පොලිසිය සැක කරන අතර ඒ පිළිබඳව වැඩි දුර විමර්ශනය කිරීම සඳහා සැකකරු පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට භාරදීමට නියමිතය. අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම රුපියල් ලක්ෂ පනහකට අධික බව පැවසේ.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ කොළඹ 15 මෝදර ප්‍රදේශයේ පදිංචි 37 හැවිරිදි පුද්ගලයෙකි.