Sunday, May 11, 2025
Home » සොර මුළක් අත්අඩංගුවේ

සොර මුළක් අත්අඩංගුවේ

by mahesh
February 16, 2024 1:00 am 0 comment

කොටදෙණියාව සමූහ - එම්. පුෂ්පකුමාර

වසා දමා තිබූ කළුගල් කැඩීමේ වැඩපළක ප්‍රධාන විදුලි පුවරුවේ පරිපථ කොටස් සොරකම් කිරීමේ යෙදුණු සැකකරුවන් තිදෙනෙකු, සොරා ගත් විදුලි පරිපථ කොටස් සමඟ අත්අඩංගුවට ගත් බව කොටදෙණියාව පොලිසිය පවසයි.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ කොටදෙණියාව, දියගම්පල ප්‍රදේශයේම පදිංචිකරුවන් තිදෙනෙකි.

දියගම්පල ප්‍රදේශයේ කළු ගල් කැඩීමේ වැඩපළක විදුලි පරිපථ කොටස් සොරකම් කර ඇති බවට කොටදෙණියාව පොලිසියට ලද පැමිණිල්ලකට අනුව සිදු කළ විමර්ශනයකදී මෙම සැකකරුවන් හා දේපළ අත්අඩංගුවට ගැනීමට හැකි වී ඇත. කළුගල් වැඩපළේ හිමිකරුවන් ආර්ථික ගැටලු නිසා නිෂ්පාදනාගාරය කලක සිට වසා දමා තිබී ඇති අතර, සොර කණ්ඩායමක් රාත්‍රි කාලයේ එහි ඇතුළු වී මෙසේ සොරකම් කර ඇති බව පොලිසිය පවසයි.

සොරකම් කරන ලද දේපළ අතර කනෙක්ටර්, සර්කිට් බේකර්, ඕලෝඩ් රිලේ, වයර් ඇතුළු දේපළ වෙයි.

සොරකම් කරන ලද භාණ්ඩවල වටිනාකම ලක්ෂ 5කට අධික බව පොලිසිය පවසයි. සොරකම් කරන ලද විදුලි පරිපථ කොටස් කොටදෙණියාව අවට ප්‍රදේශවල වෙනත් කළුගල් නිෂ්පාදනාගාර වෙත අලෙවිකර තිබියදී සහ සැකකරුවන් සන්තකයේ තිබී පොලිසිය විසින් සොයා ගෙන ඇත. සොරාගන්නා ලද කම්බි උණු කර තිබියදී ද සොයා ගැනීමට හැකි වූ බව පොලිසිය කියයි.

අත්අඩංගුවට පත් වූ සැකකරුවන් මත්කුඩුවලට ඇබ්බැහිවූවන් බව හෙළි වී ඇති බව පොලිසිය පවසයි. අත්අඩංගුවට ගත් සැකකරුවන් මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT