රබර් කිරි කැපීමේ නිරතවන්නන් හෙවත් රබර් අස්වනු සහායකයන් 169කට පළමුවරට ජාතික වෘත්තීය නිපුණතා සහතික (NVQ-3 සහතික) පිරිනැමීම පෙරේදා (15) අගලවත්ත රබර් පර්යේෂණ ආයතනයේ දී කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත ඇමැති මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.
කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේ ඉල්ලීමක් අනුව ජාතික ආධුනිකත්ව මණ්ඩලය විසින් මේ සහතිකපත් ප්රදානය කිරීමට පියවර ගෙන ඇත. රබර් කිරි කැපීමේ කටයුතුවල නිරත වන කම්කරුවන් ලෙස මෙතෙක් හැඳින්වූ කම්කරුවන්ගේ වෘත්තීය ගරුත්වය ආරක්ෂා වන පරිදි රබර් අස්වනු සහායකයන් ලෙස හැඳින්වීම ද මෙහිදී සිදු විය. එමෙන්ම මේ ජාතික වෘත්තීය නිපුණතා සහතික පිරිනැමීමේ දී රබර් අස්වනු සහායකයන්ට උපාධි ලෝගුවක් පලඳවා සහතිකපත් පිරිනැමීමට ද රබර් පර්යේෂණ ආයතනය විසින් පියවර ගෙන තිබුණි.
මෙහිදී අදහස් දැක්වූ කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත ඇමැති මහින්ද අමරවීර මහතා මෙසේ පැවසීය. අපේ රටේ වාර්ෂිකව රබර් අපනයනයෙන් අමෙරිකානු ඩොලර් මිලියන 1000ක් උපයන අතර මේ ප්‍රමාණය අමෙරිකානු ඩොලර් මිලියන 2000ක් දක්වා ඉහළ නැංවීමට අපිට හැකියාව ඇති බවයි.
Òඅපේ රටේ රබර් ගස් මිලියන 35ක් තිබෙනවා. ඉන් රබර් කිරි කැපීම සිදු කරන්නේ මිලියන 17ක පමණයි. ඉතිරි රබර් ගස් මිලියන 18ක අස්වනු නෙළා ගන්නේ නැහැ. අපේ රටේ ක්‍රේප් රබර් දැනට ලෝකයේ තිබෙන හොඳම රබර් ලෙස සලකනවා. පහත තෙත් කලාපයේ විශේෂයෙන් කළුතර දිස්ත්‍රික්කයේ රබර් වගා කර තිබෙන ඉඩම් බහුතරයකින් නිසි අස්වැන්නක් ලැබෙන්නේ නැහැ. ඊට හේතු ලෙස මේ ප්‍රදේශයට නිරන්තරයෙන් ලැබෙන වැස්ස මෙන්ම ශ්‍රම හිඟය ද බලපා තිබෙනවා. මේ නිසා රබර් කිරි කැපීමට නව තාක්ෂණය හඳුන්වාදීම කළ යුතුයි.
ඒ වගේම මේ ප්‍රදේශවල තවදුරටත් රබර් වගාව ව්‍යාප්ත කළයුතු ද යන්න සම්බන්ධවත් රබර් පර්යේෂණායතනය සිතා බැලිය යුතුයි. ඒ වෙනුවට වියළි කලාපයේ මොනරාගල, අනුරාධපුර, පොලොන්නරුව, අම්පාර වැනි ප්‍රදේශවලට රබර් වගාව ව්‍යාප්ත කළ හැකියි. අද මේ රබර් අස්වනු සහායකයන්ට ජාතික නිපුණතා සහතික ලබා දුන්නා. ඒය ඉතාමත් හොඳ වැඩපිළිවෙළක්. මීට අමතරව තල්, කිතුල් හා පොල් කර්මාන්තය ආශ්‍රිතව රා මදින හා ගෙඩි කඩන පුද්ගලයන්ටත් මේ NVQ-3 සහතිකපත් ලබා දීමට අපට හැකි වුණා. එම කර්මාන්තයේ යෙදෙන පුද්ගලයන්ට මෙවැනි පුහුණුවක් සමඟ සහතික පත් ලැබීම නිසා ඔවුන්ට විදේශගත වී ආදායම් ඉපයීමටත් අවස්ථාවක් ලැබෙනවාÓ යැයි ද ඇමැතිවරයා පැවසීය.
රබර් පර්යේෂණ මණ්ඩලයේ සභාපති ලක්ෂ්මන් අබේගුණසේකර, ජාතික ආධුනිකත්ව මණ්ඩලයේ උප සභාපති එස්. එච්. හරිස්චන්ද්‍ර මහත්වරුන් ඇතුළු නිලධාරීහු පිරිසක් මේ අවස්ථාවට එක් වූහ.