Home » බමන ළමෝ

බමන ළමෝ

by sachintha
February 19, 2024 1:59 am 0 comment

අවසිහියෙන් සිටින එකාලා මීට කාලයකට පෙර අප දකින ලද්දේ හැන්දෑවේ හතෙන් අටෙන් පස්සේය. ළඟ ඇති ගුබ්බෑයමකට රිංගා දෙකක් දාගෙන පාරට එන කල්හි ඒකාගේ ගමන සිග් සැග්ය. බෙල්ල තෙක් මුහුණේ ඉහළ කොටස සාක්කුවේය. ‘ස්නේක් ඇන්ඩ් ලැඩර්’ ගේම් එකේ ඉත්තා මෙන් වටේට යන්නේය. එළියට බසින්නේ ගෙදර යා යුතු නිසා නොවේ. සමහර එකාලා ගුබ්බෑයම වසන තෙක්ම රැඳී සිටින හෙයින් එහි දොරගුළු දමනු පිණිස හෙතෙම එළියට යා යුතුය. එහෙම වුවත් එළියට නොයෙන හෙයින් දෙපැත්තෙන් තුන් පැත්තෙන් අල්ලාගෙන විත්, අල ගෝණියක් ලොරියට දමන්නා සේ, අර යෝධයා පාරට ඇද දැමීම ‘බාර්’කාරයාගේ සිරිතය.

නැතිනම් අතේ ‘වත’ නැත. ඉන් එහාට බාර් එකේ ඉන්න දෙන්නේ නැති හෙයින් එළියට යා යුතුය. මේ සියල්ල අසූව දශකයට පෙර යුගයේ කතාය. හෙරොයින් එන්නේ අසූ ගණන්වල හෙයින් ඉන්පසු අමුතු ගැන්සියක් මේ රටේ නගරාශ්‍රිතව මුල දී ද පසුව අස්සක් මුල්ලක් නෑර ද බිහි විය. මේ සන්නිය වැලඳුණු මිනිසා නිතර රීලෝඩ් දැමිය යුතු ෆෝන් එකක් සේය. වරුවෙන් කික් එක අහවර වන්නේ බැවින්, ආයෙත් රීලෝඩ් එකක් දමනවා සේ ඒකා වෙත අදාළ පහසුකම ඕනෑ වෙයි. එතැන් සිට ‘බඩු’ පහසුවෙන් සිටියි. මේ ආකාරයට රීලෝඩ් දැමීම සඳහා බරපැන දැරීම පහසු නැති හෙයින්, පළමුව ගෙදර බඩු මුට්ටු ද පසුව වටේ පිටේ බඩු ද ඩැහැගෙන යන ‘කල්ලි’ මේ රටේ බිහි වූහ. මේ සියලු මත් යාන්ත්‍රණ අවුට් ඩේටඩ් කරමින් දැන් බමන මතින් බිම ඇදවැටෙන්නේ පාසල් ශිෂ්‍යයෝය.

ඉබ්බාගමුව අධ්‍යාපන කලාපයේ ප්‍රාථමික පාසලක දරුවෝ හතර දෙනෙක් ‘ඔන් ද මෝල්’ තත්ත්වයෙන් පාසලේ ගසක් යට වැටී සිටියහ. මේ කාලයේ පායන සැරට එහෙම සිටියා යැයි සිතිය හැකි බැවින්, වැඩිහිටියෝ සිතන්නට ඇත්තේ මේ හතර දෙනා විජලනයට ලක්ව ඇති බවය. වතුර ඉස්සා කියා, උන් ඔළුව උස්සන්නේ නැත. ඒ තරමට මත ප්‍රබලය. යමක් පාවිච්චි කර ඇතැයි සැකය පිට සිව් දෙනාම රෝහල්ගත කළ පසු එකෙක් සිහිය නොඑන සයිස් එකටම අප්ලෝඩ් වී සිටි බව වෛද්‍යවරු තහවුරු කර ගත්හ.

ලිහිනිවැහැර අවට පදිංචිව සිටි මේ දරුවෝ ‘මත් පෙත්තෙන්’ සන්තර්පණය වී ඒ ආකාරයට ගසක් මුල වැටී සිටි බව දැන් තහවුරුය. එක් දරුවකුගේ පියකු දැඩි ලෙස මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිව සිටින හෙයින් ‘තාත්තාගේ සාක්කුවට බැස’ ඒවා පාසල් ගෙනැවිත් යහළුවන් සමඟ අත්හදා බැලුවේද යන සැකය දැන් පොලිසියට පැමිණ තිබේ.

වෙනදාට පාසල්හි ඇත්තේ රණ්ඩු සරුවල් ආදී ප්‍රශ්නයන්ය. දැන් එන්නේ ‘සෙට් පිටින් සෙම හලාගෙන’ වැටී සිටින ගණයේ කේස්ය.

පාසල් අධ්‍යාපනය වනාහි, දරුවන් ලෝකය දකිනා පළමු ඉසව්වය. එතැනදී යමක් මිස් වන්නේ ද , දරුවා ‘ඇස් පෙනුණා වේද, අන්ධ වේ’. මූලික දැනුම නම් ෆවුන්ඩේෂන් එක නිසියාකාරව වැටෙන්නේ නැති නම් ‘බිත්ති ටික’ නග්ගන්නට තැනක් නැත්තේය. එතැනදී වැටෙන පදනම ‘පදමට වැදීම’ නම්, තව අවුරුදු දහයක් යන කොට මේ රට වැඩිම ආනයන වියදම දරනු ඇත්තේ ‘පෙති සහ කුඩු’ සඳහාය.

මේ තත්ත්වයට පාසල ගෙනාවේ අධ්‍යාපන ඇමැතිවරු නොවේය. ගුරු විදුහල්පති වැනි පාසල් පරිපාලනය ද නොවේය. පාසලෙන් පිටදී ළමයාගේ වගකීම දරන මවුපියවරුය. ඒ වුණාට ‘ලෙලි යවන්නේ’දෙසීය විසි පහේය. දරුවා ප්‍රවේසම් කර ගනිමින් හදනවා කියන්නේ, කොණ්ඩ කැවුමක් බදිනවා වගේය. පළමුව පිටි පදමට අවශ්‍යය. පොල් පැණි හෝ කිතුල් පැණි දැමුවද කැවුමේ පාට වැටීම සඳහා සහ කොණ්ඩයට ඍජු ගතිය ඒම සඳහා සීනි ස්වල්පයක් ද මිශ්‍රණයට එක් කළ යුත්තේය. තාච්චියේ ගින්දර අඩු වැඩිය ද පදමට තිබිය යුතුය. වෙන එකක් තබා ද්‍රාවණය තාච්චියට වක් කිරීම ද ගේමකි. එය වක් කළ යුත්තේ සෙමින් සෙමින්ය. එහෙම නැත්නම් මැද අමුය. කොණ්ඩය ගන්නේ උල් කර ගත් උණ කූරක් ගෙන හෙමින් සැරේ මැද සිට, ඉහළට ‘කරකවා’ ගෙනය. කොණ්ඩය ගත් පසු කැවුම පැත්තට හරවා එය ද බැද ගත යුතුය. ළමයෙක් හදනවා කියන්නේ ගෙදරින් නාවා, කවා, පාසල් යවා, හැන්දෑවට ගාස්තු දී ටියුෂන් යවා, රෑට කෑම දී නිදියන්න තැනක් දෙන එක නොවේය.

පළමුව අම්මා තාත්තා ආදර්ශය විය යුත්තේය. ඒ අනුව ළමයාගේ ජීවන චර්යාව ද ඈත බලා ප්ලෑන් කළ යුත්තේය. ලොකු ලොකු ඉලක්ක සඳහා දක්කනවා වෙනුවට “දැහැමින් ධනය උපදවා” සතුටින් දිවි ගෙවන මඟ ළමයාගේ අනාගතය බව ඔවුනට ඒත්තු ගැන්විය යුත්තේය.

ඒවා නොකර ළමයා පෙති ගසා සෙම හලාගෙන ගස් යට වැටී සිටින කල්හි පොඩි එකා රෝහල්ගත කර අම්මා සහ තාත්තා පොලිසි ගෙන ආ යුතුය. ඒවාට දඬුවම් දිය යුත්තේ මහ එවුන්ටය. එහෙම නොකළ කල්හි හොඳට හදන පොඩි එකාට ද රටේ වසන්නට බැරි හෙයින් අනාගත සමාජය ගැන සිතා අවුල් ආකාරයෙන් ළමයි හදන මවුපියන්ට ද ‘සම්බුව’ දිය යුතුමය.

යුක්තිය මෙහෙයුම මඟින් වෙහෙසෙන්නේ, සමාජ අපරාධ අඩු කිරීම සඳහාය. ඒ සඳහා වෙනම කවයක් පාසල් තුළ ද ඕපන් කර ගත යුතුය.

මවුපිය, අසල්වැසි, ආදී සිසු, ගුරු ආදී එකමුතුවක් ඔස්සේ දිනපතාම අප්ඩේට් ගනිමින් පාසල් විනය සඳහා පියවර ගැනීමේ යන්ත්‍රණයක් දැන් තියා පටන් ගන්නා ලෙස මේ තීරුව අවධාරණය කිරීමට කැමතිය.

නුවර පැත්තේ දොස්තර අධි වේදනා නාශක විකුණන්නේ ද පාසල් ඉලක්ක කරගෙනය. මත් මුද්දර ආදිය දැන් බුල්ටෝ වගේ අඩුවට සහ පහසුවට ගත හැක්කේය. බිග් මැච් සීසන් එක හෙයින් සිගරට් සහ අරක්කු මුදලාලි සිය ඊළඟ පරපුර තනා ගැනීම සඳහා ‘වැඩට බසින කාලය’ ද එලඹ තිබේ. බොහෝ දෙනෙක් බේබද්දෝ බවට පත්ව ඇත්තේ, අනිත් දහතුනක් පිටියේ ක්‍රීඩා කරන විට ඉතිරි ගැන්සිය ‘කටේ තියාගෙන’ ගැසීම නිසාය. එවැනි ආරම්භයන් සඳහා ද පොලිසිය තිත තැබිය යුත්තේය. ගෙදරින් ළමයා එවන මහ එවුන් ද මේවා දන්නා බැවින්, ඒ සඳහා අවවාද දී වැඩේට යැවිය යුතුමය.

මත් වී කැරකිලා වැටෙන්නට මේ බඹරු නොවේය. අපේ අනාගතයය. එහෙයින් කැරකිලා නොවැටෙන අනාගතයක් වෙනුවෙන් මේ පරපුර මත් පෙත්තෙන් එළිපත්තට ගත යුත්තේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT