Home » දරුවන්ට නියම නායකත්වය දෙන්න ඕනෑ – ප්‍රධාන බාලදක්ෂ කොමසාරිස්, නීතිඥ ජනප්‍රිත් ප්‍රනාන්දු

දරුවන්ට නියම නායකත්වය දෙන්න ඕනෑ – ප්‍රධාන බාලදක්ෂ කොමසාරිස්, නීතිඥ ජනප්‍රිත් ප්‍රනාන්දු

by sachintha
February 19, 2024 1:59 am 0 comment

හෙට (20) සිට (26) වැනිදා දක්වා ත්‍රිකුණාමලයේ දී පැවැත්වීමට නියමිත 10 වැනි ජාතික බාලදක්ෂ ජම්බෝරිය හා ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයේ ඉදිරි දැක්ම පිළිබඳව ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයේ ප්‍රධාන බාලදක්ෂ කොමසාරිස්, නීතිඥ ජනප්‍රිත් ප්‍රනාන්දු මහතා සමඟ සිදු කළ සංවාද සටහනකි මේ.

බාලදක්ෂයන්ගේ ක්‍රියාකාරකම් බලන්න මහජනතාවටත් විවෘතයි

සෑම බාලදක්ෂයකුගේම ජීවිතයට වෙනස්ම අද්දැකීමක් ලබා දීම අරමුණයි

• ලෝක බාලදක්ෂ සංගමය පිළිගත් ශ්‍රී ලංකාවේ ඇති එකම බාලදක්ෂ සංගමය ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමය නම්, ඒ සඳහා ඇති නීත්‍යනුකූලභාවය කුමක්ද?

1907 වසරේ බ්‍රවුන්සි දූපතේදී දරුවන් 20 දෙනෙකුගේ පුහුණු කඳවුරකින් තමයි බේඩ්න් පවෙල් සාමිවරයා ලෝක බාලදක්ෂ ව්‍යාපාරය ආරම්භ කළේ. මේ වන විට ලෝක බාලදක්ෂ ව්‍යාපාරය සමඟ අත්වැල් බැඳගත්ත රටවල් 174කට අයත් මිලියන 57කට අධික සාමාජික සංඛ්‍යාවක් ලොව පුරා ඉන්නවා. එම ආයතනය මඟින් තමයි ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමය සහ අනෙකුත් රටවල තිබෙන සංගම් සියල්ල පාලනය කරන්නේ. ඒ අනුව තමයි ලෝක බාලදක්ෂ ව්‍යාපාරය පිළිගත් එකම ආයතනය බවට අප සංගමය පත්වන්නේ. ඊට අමතරව ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමය ලංකා බාලදක්ෂ කවුන්සිලයේ 1957 අංක 13 දරන පනතෙන් තමයි සංස්ථාපනය කරලා තිබෙන්නේ. ඒ මඟින් පවා අප සංගමයට ශ්‍රී ලංකාව තුළ නෛතිකභාවය ලැබිලා තිබෙනවා.

• එහෙත් බාලදක්ෂ ව්‍යාපාරයට සම්බන්ධ යැයි කියමින් වෙනත් සංවිධාන බිහි වෙමින් තිබෙනවා. මේවා ලෝක බාලදක්ෂ ව්‍යාපාරය විසින් පිළිගත් සංවිධානද?

ලෝක බාලදක්ෂ ව්‍යාපාරය තමයි එක්සත් ජාතීන්ගේ සංගමයෙන් පවා පිළිගෙන තිබෙන්නේ. එක්සත් ජාතීන්ගේ සංගමයට සම්බන්ධ තවත් රාජ්‍ය නොවන සංවිධාන (එන්ජීඕ) 7000ක් පමණ තිබෙනවා. ඒ 7000 ඇතුළත බාලදක්ෂ නිල ඇඳුම ඇඳගත්ත වෙනත් වෙනත් නම්වලින් ක්‍රියා කරන අය ඇති. ඒ අයට ජම්බෝරියක් පවත්වන්නවත්, ලෝක බාලදක්ෂ ව්‍යාපාරය පවත්වන සම්මේලනයට සහභාගි වෙන්නවත් කිසිම අවස්ථාවක් ලැබෙන්නේ නැහැ.

• එවැනි සංවිධාන විවිධ දේ කරද්දී ඉන් හානි වන්නේ බාලදක්ෂ ව්‍යාපාරයේ ප්‍රතිරූපයට නේද?

අපේ තිබෙනවා (Safe from Har) ඒ කියන්නේ “හානියෙන් සුරක්ෂා” කියලා ප්‍රතිපත්තියක්. ඒ අනුව සියලු බාලදක්ෂ නායකයන්ට පුහුණුවක් ලබා දී තමයි අපේ බලපත්‍රය ලබා දෙන්නේ. ඒ අනුව අපිට සහතිකයක් දෙන්න පුළුවන් ලියාපදිංචි සියලු බාලදක්ෂ කණ්ඩායම් ආරක්ෂා කරනවා කියලා. නමුත් වෙනත් සංවිධානවලින් සිදු කරන දේවල්වලට අපිට ආරක්ෂාව දෙන්න බැහැ. ඒ අය කුමන ව්‍යාපාරයකින් පාලනය වෙනවාද කියලා අපි දන්නේ නැහැ. නමුත්, ලෝක බාලදක්ෂ ව්‍යාපාරය මඟින් පාලනය කරන ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමය සියයට සියයක්ම දරුවන්ගේ, නායකයන්ගේ සහ සේවකයන්ගේ අරක්ෂාව සම්බන්ධයෙන් ඇප කැප වෙලා කටයුතු කරනවා.

• මේ වන විට ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයේ කොපමණ සාමාජිකයන් සංඛ්‍යාවක් ඉන්නවාද?

මේ වන විට අපට 115000ක සාමාජික සංඛ්‍යාවක් ඉන්නවා. ප්‍රධාන බාලදක්ෂයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අපෙන් ඉල්ලීමක් කළා, 2025 වන විට ලක්ෂ 02ක් දක්වා සාමාජික සංඛ්‍යාව ඉහළ නංවන්න කියලා. එම ඉලක්කය කරා අපි මේ වන විට ගමන් කරමින් ඉන්නවා.

• එලෙස බිහි කරන බාලදක්ෂයන් ප්‍රමිතියෙන් යුතුව බිහි කරන්න ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමය සතු වැඩපිළිවෙළ කුමක්ද?

සමාජයට බාලදක්ෂයකු බිහි කරද්දී ඔහු හැම අතින්ම සන්නද්ධ කළ යුතුයි. අපේ සමාජයේ විනය, කණ්ඩායම් හැඟීම නැති වෙලා. ආත්මාර්ථකාමී බව සහ අන් අයට උදව් නොකරන වටපිටාවක් තමයි තිබෙන්නේ. එහෙත්, අපේ බාලදක්ෂ ව්‍යාපාරය තුළ නීති සහ පොරොන්දුවක් තිබෙනවා. ඒ අනුව තමයි අපි අපේ සාමාජිකයන්ට ජීවත් වෙන්න උගන්වන්නේ. එය හරියට පිළිපදින පුද්ගලයන්ට හොඳ පුරවැසියන් ලෙස ජීවත් විය හැකියි. ඒ වගේම බේඩන් පවල් සාමිවරයා එදා කිව්වේ බාලදක්ෂයන් අනිවාර්යෙන්ම එළිමහන සමඟ ක්‍රියා කළ යුතුයි කියලා. ඕනෑම දරුවෙකුට, ඕනෑම තැනකදී තැනට ගැළපෙන විදියට ජීවත් විය හැකි පරිසරය සකස් කර දිය යුතුයි. අද වන විට අප දරුවන් භාවිත කරන්නේ බේඩන් පවෙල් සාමිවරයා හඳුන්වා දුන්න, සිංහලයට පරිවර්තනය කරලා තිබෙන බාලදක්ෂ විද්‍යා පොතයි.

• ඉදිරියේදී පැවැත්වීමට නියමිත ජාතික ජම්බෝරිය කී වැනි වරටද පවත්වන්නේ? කාගේ ප්‍රධානත්වයෙන්ද පවත්වන්නේ?

මෙම ජම්බෝරිය 10 වැනි ජම්බෝරිය ලෙසයි හඳුන්වන්නේ. නමුත්, 2012 අපේ තිබුණා සියවස් ජම්බෝරිය. එය ජාතික ජම්බෝරියක් ලෙස නම් කළේ නැහැ. ජම්බෝරියේ ප්‍රධානියා වශයෙන් ක්‍රියා කරන්නේ මම. මෙය විවෘත කිරීම සඳහා අපේ ප්‍රධාන බාලදක්ෂයා විදියට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහභාගි වෙනවා. ඒ අනුව සමාරම්භක උලෙළ 21 වැනිදා පවත්වනවා.

• ජාතික ජම්බෝරියක් පැවැත්වෙන්නේ වසර කීයකට සැරයක්ද, එවැනි ජම්බෝරියක් පැවැත්වීමේ අරමුණ කුමක්ද?

ලෝක බාලදක්ෂ ජම්බෝරියක් පවත්වන්නේ වසර 04කට සැරයක්. 2023 අගෝස්තු මාසයේ 25 වැනි ලෝක බාලදක්ෂ ජම්බෝරිය පැවැත්වුණා. ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයත් වසර 40කට පමණ පෙර තීරණයක් අරගෙන තිබුණා වසර 04කට වරක් ජම්බෝරියක් පවත්වන්න. නමුත් යම් යම් හේතූන් මත වසර 04කට වරක් පවත්වන්න බැරි වෙලා තිබෙනවා. 2016 දී අවසන් වරට තමයි 09 වැනි ජාතික ජම්බෝරියක් පැවැත්වුවේ. නමුත් 2020 පවත්වන්න සූදානම් කරලා තිබුණත් කොවිඩ් වසංගතයත් එක්ක එය කල් ගියා. ජම්බෝරියක් තුළින් බලාපොරොත්තු වෙන්නේ ජම්බෝරියට සහභාගි වන සෑම බාලදක්ෂයකුගේම ජීවිතයට වෙනස් ම අද්දැකීමක් ලබා දෙන්න. ජම්බෝරියට එන සාමාජිකයා නෙවෙයි එය ඉවර වෙලා ගෙදර යා යුත්තේ. එලෙස එන දරුවගේ වෙනසක් හැමෝම දකින්න ඕනෑ. ඒ වගේම දරුවට ආත්ම ශක්තියක් තියෙන්න ඕන මට මගේ වැඩ තනිවම කරගන්න පුළුවන් කියලා. මේ සඳහා 12000ක් කඳවුරුගත වෙනවා. එතැන ඉන්නවා විදෙස් බාලදක්ෂයන් 600ක් පමණ. සියලු දෙනා අතර සහෝදරත්වය, සහජීවනය ඇති කර ගන්න ලැබෙනවා. ඒ තුළින් අද්දැකීම් රාශියක් ලබා ගන්න අවස්ථාව ලැබෙනවා.

• මෙවර ජම්බෝරියේ තේමාව කුමක්ද?

මෙවර තේමාව “වෙනසක් සඳහා නායකත්වය” යන්නයි. අද හැම තැනකම කියන්නේ වෙනසක් ගැන. දරුවන් තුළින් නායකත්ව වෙනසක් ඇති කළ යුතුයි. එය පාසල්, ගම් මට්ටමින් සිදු කරලා දරුවන්ට නියම නායකත්ව ස්වරූපය ලබාදෙන්න කටයුතු කළ යුතුයි. ඒ තුළින් අපිට පුළුවන් වේවි සමාජයටත් අවශ්‍ය වෙනස ලබා දෙන්න.

• ජාතික ජම්බෝරිය සඳහා දෙස් විදෙස් බාලදක්ෂයන් හා නායකයන් කොපමණ සංඛ්‍යාවක් එක්වෙනවාද?

ශ්‍රී ලංකාවෙන් 11480ක් සහ විදෙස් රටවලින් 600ක් පැමිණෙනවා. ඊට අමතරව පෝතක බාලදක්ෂයන් දින දෙකක් අවට පාසල්වල ගත කරලා කඳවුරුට දිනයක් සඳහා පැමිණෙනවා. ඒ අනුව පෝතක බාලදක්ෂයන් 7900ක් එක්ක ගත්තම, මුළුමනින්ම 19500 පමණ සංඛ්‍යාවක් එක් වෙනවා. ඒ වගේම ප්‍රථම වතාවට ජාතික බාලදක්ෂ ජම්බෝරියක ශ්‍රී ලංකා බාලදක්ෂිකා සංගමයත් කඳවුරුගත වෙනවා. අනිත් කාරණය තමයි මෙම කඳවුර මහජනතාවටත් විවෘත කරලයි තිබෙන්නේ. දරුවන් සමඟ ඇවිත් බාලදක්ෂයන්ගේ ක්‍රියාකාරකම් බලන්න කියලා අප ආරාධනා කරනවා. ඒ අනුව 21 වැනිදා දවල් 2.00න් පසු සියලු දිනවල පෙරවරු 9.00 සිට පස්වරු 9.00 දක්වා මහජනතාව සඳහා කඳවුර විවෘත කර තිබෙනවා.

• මෙවැනි ජාතික මට්ටමේ ජම්බෝරියක් ත්‍රිකුණාමලයේ පවත්වන්න හේතුව කුමක්ද?

අපේ 09 වැනි ජම්බෝරිය තිබුණේ යාපනයේ. අපි නැඟෙනහිර පළාතේ මෙවැනි දෙයක් කරලා නැති නිසා මෙවර නැඟෙනහිර පළාතේ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය තෝර ගත්තා. අපිට ආණ්ඩුකාරවරයා ඇතුළු සියලු බලධාරීන්ගෙන් සහය ලැබුණා. ඒ වගේම ජනාධිපති ලේකම් කාර්යාලය, අධ්‍යාපන අමාත්‍යාංශය ඇතුළු සියලු රාජ්‍ය ආයතන මඟින් මේ සඳහා විශාල සහයෝගයක් වගේම දායකත්වයක් ලැබෙනවා. ත්‍රිකුණාමලයේ ස්වාභාවික සම්පත් රැසක් තිබෙනවා. එය නරඹන්නත් දෙස් විදෙස් බාලදක්ෂයන්ට අවස්ථාව ලැබෙනවා. කඳවුරු භූමිය පවා මුහුද ආසන්නයේ තිබෙන්නේ. එය ඉතා අලංකාරයි. ඒ වගේම ත්‍රිකුණාමලයට යෑමට දුම්රිය, බස් වැනි ප්‍රවාහන පහසුකම් සියල්ලම තිබෙනවා.

• මෙවැනි ජම්බෝරියක් පැවැත්වීමෙන් රටකට ලැබෙන වාසි මොනවද?

විදෙස් නායකයන්ගේ සහ බාලදක්ෂයන්ගේ පැමිණීමෙන් ආර්ථික වශයෙන් වාසි රැසක් අත්පත් කරගත හැකියි. ඔවුන්ට අපේ රට නරඹන්න අවස්ථාව ලැබෙනවා. ඔවුන් ඒ පණිවුඩය ඒ රටවලට ගෙන යෑමෙන් තව තවත් විදේශිකයන් විශාල පිරිසක් රටට ගෙන්වා ගන්න අවස්ථාව ලැබෙනවා. ඒ විතරක් නෙවෙයි අපේ ඇතැම් දරුවන් ත්‍රිකුණාමලයට පැමිණිලා නැහැ. ඔවුන් ලබන අද්දැකීම් තමන්ගේ නිවෙස්වල අය සමඟ පැවැසීමෙන් ත්‍රිකුණාමලයට එන පිරිස වැඩි වෙනවා. එයින් ත්‍රිකුණාමලයට වගේම එහි ජීවත් වෙන ජනතාවට ආර්ථික වශයෙන් විශාල ශක්තියක් ලැබෙනවා.

• ඔබ ප්‍රධාන බාලදක්ෂ කොමසාරිස් ධුරයට පත්වීමෙන් පසු ගෙවුණු කාලය තුළ කළ කර්තව්‍යය පිළිබඳ තෘප්තිමත්ද?

ඇත්ත වශයෙන්ම තෘප්තිමත් වෙනවා. මම බාලදක්ෂ ව්‍යාපාරයට එක් වෙන්නේ 1979 වසරේ. එදා සිට මේ දක්වා පාසලේ බාලදක්ෂ නායකයා ලෙසත්, කොළඹ දිස්ත්‍රික්කයේ සහය දිසා කොමසාරිස්වරයෙකු ලෙසත්, දිසා කොමසාරිස්වරයා ලෙසත් කටයුතු කරලා, ජාතික සංගමයේ ජාත්‍යන්තර කොමසාරිස්වරයා ලෙසත්, නියෝජ්‍ය කොමසාරිස්වරයා ලෙසත්, දැන් ප්‍රධාන බාලදක්ෂ කොමසාරිස්වරයා ලෙසත් සේවය කරනවා. මට ලැබිලා තිබෙන තනතුර මම සලකන්නේ මේ ව්‍යාපාරයේ ඉන්න ලොකුම සේවකයා ලෙසයි. මම ඒ මානසිකත්වයෙන් තමයි වැඩ කරන්නේ. ඒ තුළින් පසුගිය වසර දෙක හමාරක කාලය තුළ නොයෙක් අලුත් දේවල් ආරම්භ කරලා බාලදක්ෂයන්ට, බාලදක්ෂ නායකයන්ට පුහුණුව තුළින් හොඳ ව්‍යාපාරයක් ගොඩනඟන්න පුළුවන්කම ලැබිලා තිබෙනවා. ඉදිරියටත් අලුත් අලුත් දේ හඳුන්වා දෙමින් බාලදක්ෂ ව්‍යාපාරය ශක්තිමත් ව්‍යාපාරයක් බවට පත් කරන්න මම කටයුතු කරනවා.

සටහන- නුවන් කොඩිකාර

ඡායාරූප – දුෂ්මන්ත මායාදුන්න

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT