Wednesday, May 14, 2025
Home » කුරුණෑගලින් බිහි වූ එජාපයේ දැවැන්තයා

කුරුණෑගලින් බිහි වූ එජාපයේ දැවැන්තයා

by sachintha
February 19, 2024 1:00 am 0 comment

කුරුණෑගල දිස්ත්‍රික්කයේ කටුගම්පල මැතිවරණ කොට්ඨාසය ආරම්භ වූයේ 1960 මාර්තු මහ මැතිවරණයේ සිටය. 1960 සිට 1977 දක්වා වසර 17ක් ම කටුගම්පොළ ජය ලැබුවේ ස්වාධීන අපේක්ෂකයකු හෝ ශ්‍රීල නිපයේ අපේක්ෂකයකු විසිනි. මේ තත්ත්වය වෙනස් කිරීමට එක්සත් ජාතික පක්ෂයේ නායක ජේ.ආර්. ජයවර්ධන මහතා නව පියවරක් ගත්තේය. එනම්, නව අපේක්ෂකයකු කටුගම්පලට හඳුන්වා දී, ඔහු වටා ජනතාව එක්රැස් කරවා කටුගම්පල අසුන දිනාගැනීමයි. මේ සඳහා සුදුසුම පුද්ගලයා ලෙස ඔහු තෝරාගත්තේ එවකට 35 වැනි වියේ පසු වූ තරුණ නායකයකු වූ ගාමිණි ජයවික්‍රම පෙරේරා මහතාය.

ජයවික්‍රම පෙරේරා අධ්‍යාපනය ලැබුවේ කොළඹ නාලන්දා විද්‍යාලයෙනි. එකල නාලන්දාවේ විසූ කීර්තිමත් ගුරුවරයකු වත්මන් සර්වෝදය නායක ආචාර්ය ඒ.ටී. ආරියරත්න මහතාගේ සෙවණේ අධ්‍යාපනය ලැබූ ජයවික්‍රම පෙරේරා මහතා එකල නාලන්දාවේ ක්‍රියාත්මක වූ නාලන්දා විද්‍යාලයීය සමාජ සේවා සංගමයේ උද්‍යෝගිමත් සාමාජිකයෙක් විය. එයින් පසු සර්වෝදය ව්‍යාපාරයේ ද සාමාජිකයකු වශයෙන් කුරුණෑගල දිස්ත්‍රික්කයේ කනතොළුව ගම්මානයේ පැවති ප්‍රථම ශ්‍රමදානයේ සිට තම දිස්ත්‍රික්කයේ ගම්බිම් නඟා සිටුවීමට විවිධ ශ්‍රමදාන කඳවුරු සංවිධානය කරමින් කටයුතු කළ හෙයින් ජයවික්‍රම පෙරේරා මහතා පොදු ජනතාව අතර කැපී පෙනෙන තරුණ නායකයෙක් විය.

කුරුණෑගල දිසාවේ සමන්ගල්ල ගම් සභාවේ මහජන නියෝජිතයකු වශයෙන් 1968 වසරේ පත් වූ පෙරේරා මහතා එක්සත් ජාතික පක්ෂයේ දේශපාලනයට එක් වූයේ අගමැති ඩඩ්ලි සේනානායක මහතා එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය දරන සමයේ සිටය. 1973 සිදු වූ ඩඩ්ලි සේනානායක මහතාගේ හදිසි මරණයෙන් පසු පක්ෂයේ නායකත්වයට පත් වූ ජේ.ආර්. ජයවර්ධන මහතා ජයවික්‍රම පෙරේරා මහතා ඉතා ටික කලකින් කටුගම්පල ඡන්ද කොට්ඨාසයේ සංවිධායක ලෙස පත් කරන ලද්දේ ඔහුට විශාල අභියෝගයක් භාර දෙමිනි. ඒ වන විට කටුගම්පල මන්ත්‍රීවරයා වූයේ හිටපු කථානායකවරයක් වූ ටී.බී. සුබසිංහ මහතාය. ජයවික්‍රම පෙරේරා මහතා කටුගම්පල එජාප ප්‍රධාන සංවිධායක වන විට සුබසිංහ මහතා එවකට පැවති සිරිමා බණ්ඩාරනායක රජයේ කර්මාන්ත හා විද්‍යා කටයුතු ඇමැතිවරයාය.

ජයවික්‍රම පෙරේරා කටුගම්පල සංවිධානය කර සිය දේශපාලනයේ ජය මාවත සටහන් කරන විට වෙස්වළාගත් ආශීර්වාදයක් පෙරේරා මහතා සොයාගෙන පැමිණියේ නොසිතූ අයුරිනි. ඇමැතිවරයකු වූ සුබසිංහ මහතා රජය සමඟ ඇති කරගත් ආරෝවක් දුර දිග ගිය හෙයින් 1977 මාර්තු 10 දින ටී.බී. සුබසිංහ මහතා රජයෙන්ද ඇමති ධුරයෙන්ද ඉල්ලා අස් වී විපක්ෂයේ අසුන් ගත්තේය. එදිනම ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයද රජයෙන් ඉල්ලා අස් වී විපක්ෂයට එකතු වීම මැතිනියගේ රජයේ මළගම සටහන් කිරීමක් විය. මේ දේශපාලන පෙරළි ඔස්සේ කටුගම්පල ජනතාව ජයවික්‍රම පෙරේරා මහතා වටා එකතු වූයේ ඔහුගේ ජයග්‍රහණයට මල් පාවාඩ එළමිනි. 1977 වසරේ ජුනි 22 දින පැවති මහ මැතිවරණයෙන් ජයවික්‍රම පෙරේරා මහතා කටුගම්පල දිනාගත්තේ හිටපු මන්ත්‍රී හා ඇමැතිවරයකු වූ ටී.බී. සුබසිංහ මහතා තෙවැනි ස්ථානයට පත් කරමිනි. ජේ.ආර්. ජයවර්ධන මහතාගේ රජය විසින් ඇති කළ දිසා ඇමති ක්‍රමය යටතේ කුරුණෑගල දිසා ඇමැතිවරයා වූයේ ජයවික්‍රම පෙරේරා මහතාය. මේ අනුව 1978 ඔක්තෝබර් සිට 1988 දක්වා වසර 10ක් කුරුණෑගල දිසා ඇමැති පදවිය දැරූ ජයවික්‍රම පෙරේරා මහතා එවකට අගමැති ආර්. ප්‍රේමදාස මහතාගේ උදාගම් ව්‍යාපාරයට සජීව නායකත්වය දුන් අයෙක් විය. මහපොළ, යොවුන් පුරය, ස්වර්ණභූමි ඔප්පු ප්‍රදානය, යෞවන සමාජ ව්‍යාපාරය, ගම් උදාව, පාසල් පොත් බෙදාදීම ආදි රජයේ සියලු සංවර්ධන කටයුතුවලදී දිස්ත්‍රික්කය තුළ සුවිශේෂ මෙහෙවරක් සිදු කළ ජයවික්‍රම පෙරේරා මහතාට 1992 වසරේදී එක්සත් ජාතික පක්ෂයේ සහකාර ලේකම් පදවිය පිරිනැමිණි. එමෙන්ම එම වසරේ සිට එක්සත් ජාතික පක්ෂයේ කුරුණෑගල දිසා සංවිධානයේ සභාපති පදවියද හිමි විණි. 1993 වසරේදී බිංගිරිය ඡන්ද කොට්ඨාසයේ සංවිධායක පදවිය හිමි වූ අතර, 1994 වසරේදී පැවති මහ මැතිවරණයෙන් එක්සත් ජාතික පක්ෂයේ පාලන බලය අවසන් වුවද, කුරුණෑගල දිස්ත්‍රික්කයට එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරයකු වශයෙන් තේරී පත් වීමට ඉඩ ප්‍රස්තාව හිමි විය.

වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයට පත් වූ පසු වරක් පක්ෂයේ සභාපති පදවිය ජයවික්‍රම පෙරේරා මහතාට පිරිනැමීය. රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වයෙන් පිහිටුවූ සෑම රජයකම වගකිව යුතු ඇමැති පදවියක් ජයවික්‍රම පෙරේරා මහතාට හිමි විය. ඒ අතුරින් බුද්ධ ශාසන හා සංස්කෘතික ඇමැති පදවියද හිමි විය.

ජීවිතයේ සැඳෑ සමයේ දේශපාලන කටයුතුවලින් ඉසිඹු ලබා තම නිවෙසේ ගත කළ ජයවික්‍රම පෙරේරා මහතාගේ සුවදුක් විමසා බැලීමට පසුගිය දිනෙක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඔහුගේ නිවෙසට ගොස් සතුටු සාමීචියේ යෙදී සිටියේය. එයින් දින කිහිපයකට පසු ජයවික්‍රම පෙරේරා මහතා සිය නාමය ඉතිරි කර තම සසුම් පොද වාතලයට මුසු කළේ කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් බිහි වූ ශ්‍රේෂ්ඨ දේශපාලන නායකයකු හා එක්සත් ජාතික පක්ෂයේ සිටි දැවැන්ත නායකයකු ලෙස අමතක නොවන සේවයක් ඉටු කරමිනි.

මැතිඳුනි ඔබට නිවන් සුව පතමු!

වජිර අබේවර්ධන

පාර්ලිමේතු මන්ත්‍රී, එක්සත් ජාතික

පක්ෂ සභාපති

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT