දිනමිණ මාධ්‍යවේදිනි නදීකා දිල්හානී සහ නෙත්මි පූජනී සහතික පත් ලබාගත් අයුරු
සිය ජීවිතය ජය ගැනීම වෙනුවෙන් අභියෝගයන්ට අභියෝග කළ, එමඟින් අතිමහත් සමාජ ආදර්ශයක් ජනගත කළ ආදර්ශයේ ප්‍රතිරූප බඳු ලක් මවගේ දිරිය දියණියන් සහ මේ දුලබ මිණිකැට ලොවට හෙළි කළ ලේඛකයන් ඇගයූ ‘ෆ්‍රීඩා කොරෙයා සම්මාන උලෙළ 2023’ පසුගියදා (15) බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී අතිඋත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි.
ලේඛක ලේඛිකාවන් සඳහා පවත්වන තරගයක් ආශ්‍රයෙන් ස්වකීය නිර්මාණශීලිත්වය සහ අධිෂ්ඨානශීලිත්වය මඟින් දරිද්‍රතාව පරාජය කිරීමට සමත් වූ දිරිය කාන්තාවන් හඳුනාගැනීමේ අපේක්ෂාව පෙරදැරි කරගත් ව්‍යාපෘතියක් ආචාර්ය ගාමණි කොරෙයා පදනම මඟින් ක්‍රියාත්මක කරන ලදි. එහිදී ලේඛකයන්, ඒ ව්‍යවසායක කතුන් සමඟ සිදු කරන සංවාද ඇසුරෙන් ඔවුන් මුහුණ දුන් අභියෝග සහ ඔවුන් ඒ අභියෝග ජය ගත් ආකාරය හෙළිදරවු කිරීම සිදු වූ අතර, මේ ව්‍යාපෘතියෙන් ශ්‍රී ලංකාවේ පළාත් 9ම ආවරණය කරමින් තෝරාගත් දිරිය කතුන් 22ක් සහ ඔවුන්ගේ සාර්ථකත්වයේ කතාව ලේඛනගත කළ ලේඛක ලේඛිකාවන් 22ක් සඳහා සම්මාන හා සහතිකපත් ප්‍රදානය මේ උලෙළේදී සිදු විය.
ඒ අනුව මෙහිදී සී. දිල්හානි කුමාරි සහ ලේඛිකා කේ.ජී. අමාශා දැහැමි කුලරත්න (බස්නාහිර), එම්.ඩබ්. අයිරංගනී සහ ලේඛිකා ආර්.පී. උදාරි මධුරංගිකා (දකුණ), ඒ. අයේෂා මංගලිකා අපරැක්ක සහ ලේඛිකා ඉනෝකා පෙරේරා බණ්ඩාර (උතුරු මැද), කේ.ඒ. නිරෝෂා ධමයන්ති කුමාරි සහ ලේඛක එම්.එම්. ආනන්ද දේවප්‍රිය (වයඹ), ගයනි අසින්සලා පියදිගම සහ ලේඛක එච්.එම්.ජී.එම්.ඩී. සංජීව බණ්ඩාර (ඌව), නිර්මා ශාමිලා ජෝසප් සහ ලේඛිකා පී.ඒ.ආර්. ප්‍රසංගිකා පතිරණ (මධ්‍යම), නිශාන්තන් ශෝබනා සහ ලේඛිකා ශ්‍රීතර්ශිකා වෙනුකාන්ත් (උතුර) පළාත් මට්ටමින් ප්‍රථම ස්ථාන හිමි කරගත්හ.
දෙවැනි ස්ථාන ශාලිකා කරුණාරත්න සහ ලේඛිකා රන්මිණී අබේවීර ගුණවර්ධන (බස්නාහිර), අයි.එම්. නිල්මිණී කාන්ති මුදලිගේ සහ ලේඛිකා කේ. නිමාෂි ඒ. ප්‍රනාන්දු (දකුණ), වයි.එම්.වයි. කුමාරිහාමි සහ ලේඛක එස්.ඒ.ඩී. සේනානායක (වයඹ), ජී. අමිතා නිරෝෂණී සහ ලේඛිකා නෙත්මි පූජනි රත්නායක (ඌව), ඩබ්.ජී කුසුමාවතී සහ ලේඛිකා ඒ.ඒ. නදීකා දිල්හානි ඩයස් (මධ්‍යම), සජිරානි කිරුස්නාදාස් සහ ලේඛිකා එල්. කවශ්කර් (උතුර) වෙත හිමි වූ අතර, පුෂ්පා කුමාරි ගුණරත්න සහ ලේඛිකා පී. ඉරෝෂිනී දීපිකා (බස්නාහිර), ඊ.කේ. ඉන්දුකා පුෂ්පා ගමගේ සහ ලේඛිකා රුක්ෂානි වීරසූරිය විජේමාන්න (සබරගමුව), එම්.ආර්. රංජනී සහ ලේඛිකා එල්. ඉෂාරා මධුභාෂිනී (දකුණ), එම්.ජී. සමන්ති ප්‍රියදර්ශනී සහ ලේඛක ප්‍රභාත් ජයරත්න වරුසමාන්න (උතුරු මැද), පී.ඒ. හිමාලි ඉරේෂා සහ ලේඛිකා චාමිලා රුවන් කුමාරි (වයඹ), ඩී.එම්. රන්දි දිසානායක සහ ලේඛක එස්.ජී.එල්.පී. ධනංජය දිසානායක (ඌව), ඊ.එම්. මාලා ඒකනායක සහ ලේඛිකා වී.එන්.ආර්. වයලට් (මධ්‍යම), මතිවතනාන් තර්මලක්ෂ්මි සහ ලේඛක පී. පුෂ්පරාජු (උතුර), කන්දසාමි විජයනිලා සහ ලේඛක වී.එම්. කොලින් (නැඟෙනහිර) තෙවැනි ස්ථාන හිමි කරගත්හ.
මෙහිදී සම්මානයෙන් පිදුම් ලැබූ අය අතුරින් නදීකා දිල්හානි ඩයස් සහ නෙත්මි පූජනී රත්නායක (දිනමිණ), ඉනෝකා පෙරේරා බණ්ඩාර (සිළුමිණ), වයලට් රාජකනී (තිනකරන්) යන ලේඛිකාවන් සිව් දෙනකුම ලේක්හවුස් මාධ්‍යවේදිනියන් වීම විශේෂත්වයකි.
පිළිගැනීමේ කතාව ගාමණි කොරෙයා පදනමේ සභාපති ආචාර්ය ලොයිඩ් ප්‍රනාන්දු මහතා විසින් සිදු කරන ලද අතර, ප්‍රධාන ආරාධිතාව ලෙස සහභාගි වූ සුනෙර පදනමේ සභාපතිනි සුනේත්‍රා බණ්ඩාරනායක මහත්මියද අදහස් දැක්වූවාය.
අභාවප්‍රාප්ත ආචාර්ය ගාමණි කොරෙයා මහතා විසින් 2000දී පිහිටුවනු ලැබූ ‘ගාමණි කොරෙයා පදනම’ ලාභ නොලබන පුණ්‍යායතනයක් වන අතර, එහි අරමුණ වන්නේ පර්යේෂණ ඇසුරෙන් සංවර්ධනය ප්‍රවර්ධනය කිරීම මෙන්ම අනෙකුත් සමාජ විද්‍යාවන්, විශේෂයෙන් බහුවිධ ඉදිරි දර්ශනයකින් යුතුව විවිධ පර්යේෂණයන් සඳහා මංපෙත් විවර කිරීමයි. එසේම ශ්‍රී ලංකාවේ සමාජ ආර්ථික සංවර්ධනයට දායකත්වය සැපයීම සහ අනෙකුත් අඩු හා මධ්‍යම ආදායම්ලාභී රටවලට ස්වාධීන සහ උසස් තත්ත්වයෙන් යුතු පර්යේෂණ සඳහා දායකත්වය සැපයීමයි. ආචාර්ය ගාමණි කොරෙයාගේ මෑණියන් වන ෆ්‍රීඩා කොරෙයා මහත්මියට උපහාර වශයෙන් ගාමණි කොරෙයා පදනම විසින් 2023 වසරේදී ‘ෆ්‍රීඩා කොරෙයා සම්මාන ව්‍යාපෘතිය’ ආරම්භ කර ඇත.
තානාපතිවරුන්, රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන්, රාජ්‍ය නොවන ආයතනවල නිලධාරීන්, ගාමණි කොරෙයා පදනමේ අධ්‍යක්ෂක මණ්ඩල සාමාජික සාමාජිකාවන්, ශ්‍රී ලංකාවේ කාන්තා කර්මාන්ත හා වාණිජ මණ්ඩලයේ උප සභාපතිනි ගයනි ද අල්විස් මහත්මිය, සම්මානයට පාත්‍ර වූ ජයග්‍රාහක ජයග්‍රාහිකාවන් ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.
සම්මානලාභීන් සමූහ ඡායාරූපයකට පෙනී සිටි අයුරු
තක්ෂිලා උදයංගනී, නිරෝධ්‍යා සඳමිණි රණසිංහ
ඡායාරූප – රංජිත් අසංක