ගම්පහ ලයිසියම් ජාත්‍යන්තර පාසලේ ඉගෙනුම ලබන ලලාෂා රූපසිංහ දියණිය විසින් රචිත ‘DOROTHY’S JOURNEY’ ළමා ග්‍රන්ථය එළිදැක්වීම ලංකාවේ සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගමේ සභාපති මහාචාර්ය හරේන්ද්‍ර කාරියවසම් මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුවිය.
ළමා කතාන්දර ඇතුළත් මෙම ග්‍රන්ථය එළිදැක්වීම කොළඹ පිහිටි මහවැලි කේන්ද්‍රයේදී සිදුකෙරුණු අතර ඒ අවස්ථාවට ලේක්හවුස් කාර්ය මණ්ඩලය, ලයිසියම් ජාත්‍යන්තර පාසලේ ගුරුවරුන් හා සිසුදරු දැරියන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.
‘DOROTHY’S JOURNEY’ ළමා කතාන්දර පොත ලලාෂා දියණිය විසින් රචිත පළමු ග්‍රන්ථය වන අතර තවත් ග්‍රන්ථ ඉදිරියේදී රචනා කිරීමට ඇය බලාපොරොත්තුවෙන් පසුවෙයි.
මෙහිදී අදහස් දක්වමින් ගම්පහ ලයිසියම් ජාත්‍යන්තර පාසලේ විදුහල්පතිනි තිලංකා කරුණාරත්න මහත්මිය පෙන්වා දුන්නේ ගම්පහ, ලයිසියම් ජාත්‍යන්තර පාසලේ දරු දැරියන් පස් දෙනකු මීට පෙර ග්‍රන්ථ රචනා කර තිබෙන බවත් හය වැනි ග්‍රන්ථය ලෙස ‘DOROTHY’S JOURNEY’ ළමා කතාන්දර පොත ලලාෂා දියණිය විසින් රචනා කර තිබෙන බවත්ය.
අද දවස අපට ඉතා වැදගත් දිනයක් බව පෙන්වාදුන් ඒ මහත්මිය පාසලේ විදුහල්පතිනිය වශයෙන් තමා ඉතාම සතුටු වන බව ද 9 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන ලලාෂා දියණිය විසින් මෙම ග්‍රන්ථය රචනා කර තිබෙන බව ද සඳහන් කළාය. ග්‍රන්ථයක් රචනා කිරීම, එළිදැක්වීම ළමා වයසට අතිශය වැදගත් බව පෙන්වාදුන් ඒ මහත්මිය කුඩා වයසේ සිට පොත් කියවීම, ලිවීම ආදිය තුළින් යහපත් පුරවැසියකු නිර්මාණය වන බව ද පැවසුවාය.
ලලාෂා දියණිය ලයිසියම් ජාත්‍යන්තර පාසලේ ශිෂ්‍ය නායිකාවක බව සඳහන් කළ විදුහල්පතිනිය ඊට අමතරව ඇය දහම් පාසලේ නියෝජ්‍ය ප්‍රධාන ශිෂ්‍ය නායිකාව බව ද පාසල තුළ දක්ෂ ලෙස ඇය තමන්ගේ අධ්‍යාපන කටයුතු සහ විෂය බාහිර ක්‍රියාකාරකම්වල නිරත වන බව ද පෙන්වා දුන්නාය. අපේ රට පිළිබඳ ග්‍රන්ථ රචනා විය යුතු බව ද ශ්‍රී ලංකාව ජාත්‍යන්තරය ඉදිරියේ සෑම ආකාරයකින්ම ප්‍රවර්ධනය කළ යුතු බව ද සඳහන් කළ තිලංකා කරුණාරත්න මහත්මිය අපේ රට පිළිබඳ නිවැරැදි අවබෝධයක් ජාත්‍යන්තර ප්‍රජාව වෙත ලබා දිය යුතු බව ද සඳහන් කළාය.
මෑත කාලය තුළ ශ්‍රී ලංකාව විවිධ අභියෝගයන්ට මුහුණදුන් රටක් බව සිහිපත් කළ ඒ මහත්මිය ඉතිහාසය දෙස බලන විට ජාතික වීරයන් විවිධාකාරයෙන් රට ආරක්ෂා කර තිබෙන බව ද එක් පාර්ශ්වයක් අවි ආයුධ අතින් ගෙන රට ආරක්ෂා කර තිබෙන අතර තවත් පාර්ශ්වයක් පෑන අතින් ගෙන රට ආරක්ෂා කර තිබෙන බව ද සිහිපත් කළාය. ඒ අනුව අපේ දරු දැරියන්ට ද පෑන අතින් ගෙන රට ආරක්ෂා කිරීමේ හැකියාව පවතින බව ද රට ගැන විවිධාකාරයෙන් ලිවිය හැකි වන අතර සමාජ මාධ්‍ය ඔස්සේ යම් යම් පණිවුඩ ලබාදිය හැකි බව ද පෙන්වා දුන්නාය.
ලලාෂා රූපසිංහ දියණිය විසින් රචිත ‘DOROTHY’S JOURNEY’ ළමා ග්‍රන්ථයේ මුල් පිටපත ලංකාවේ සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගමේ සභාපති මහාචාර්ය හරේන්ද්‍ර කාරියවසම් මහතා වෙත පිළිගැන්වූ අතර සෙසු ආරාධිතයන්ට ද එම ග්‍රන්ථය පිළිගැන්වීය. ලලාෂා රූපසිංහ දියණියගේ මව වන ලේක්හවුස් ආයතනයේ දැන්වීම් අංශයේ ගංගා රඹුක්වැල්ල, ඇගේ පියා වන දිනූෂ රූපසිංහ මහත්ම මහත්මීන් මෙන්ම ඇගේ පවුලේ ඥාතීන් ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.
ඡායාරූප – චින්තක කුමාරසිංහ
ජයසිරි මුණසිංහ සහ මහින්ද අලුත්ගෙදර