එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ 37 වැනි ආසියා පැසිෆික් කලාපීය සමුළුවට සහභාගි වීම සඳහා පැමිණි රාජ්‍ය නියෝජිතයන්ව පශු සම්පත් රාජ්‍ය ඇමැති ඩී.බී. හේරත් මහතා කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී පිළිගත් අවස්ථාව
එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ 37 වැනි ආසියා පැසිෆික් කලාපීය සමුළුවට සහභාගි වීම සඳහා රාජ්‍ය නියෝජිතයෝ රැසක් පසුගිය 17 සහ 18 දිනයන්හිදී ශ්‍රී ලංකාවට පැමිණියහ.
මෙම සමුළුව අද (19) කොළඹ හිල්ටන් හෝටලයේදී ආරම්භ වීමට නියමිත අතර මෙම 22 වැනිදා දක්වා එය පැවැත්වේ. මෙම සමුළුවේ සමාරම්භක සැසිවාරය හෙට (20) ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙනු ඇත.
මෙම සමුළුවට ආසියා පැසිෆික් කලාපයේ රටවල් 42ක නියෝජිතයන් සහභාගි වන අතර ඉන් රටවල් 35ක කෘෂිකර්ම අමාත්‍යවරු නියෝජ්‍ය අමාත්‍යවරු මෙන්ම නිලධාරින් ද 300කට අධික පිරිසක් සහභාගි වීමට නියමිතය. කෘෂිකර්ම අමාත්‍යවරු මෙන්ම නියෝජ්‍ය අමාත්‍යවරු හා නියෝජිතයෝ රැසක් මේ වන විටත් පැමිණ සිටිති. ඒ අතර ටොන්ගා, පලාවු, වනුවාටු, ෆීජි, නේපාල්, සැමෝවා, මාර්ශල්, ඉරාන්, ජපාන්, නියු, ඉන්දුනීසියා, වියට්නාම්, තායිලන්තය, පිලිපීනය ඇතුළු රටවල් ගණනාවක නියෝජිතයෝ පැමිණ සිටිති.
මෙම සමුළුවට සහභාගි වීමට මෙරටට පැමිණි, එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ ප්‍රධානියා වන ආචාර්ය Qu Dongyu මහතා ඇතුළු පිරිස කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ආරාධනය පරිදි ඊයේ (18) දහවල් වැලිපැන්න, පැලවත්ත අතුකෝරළ තේ කර්මාන්ත ශාලාව හා වතුයාය නිරීක්ෂණය කිරීමට එහි ගියේය. කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා ද මෙම චාරිකාවට එක් වූ අතර ආචාර්ය Qu Dongyu මහතා මෙදින පස්වරුවේ අගලවත්ත රබර් පර්යේෂණායතනය නිරීක්ෂණය කිරීමට ද එක්විය.
මීට අමතරව අද (19) නිල වශයෙන් 37 වැනි ආසියා පැසිපික් සමුළුවේදී කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා රටවල් කිහිපයක කෘෂිකර්ම අමාත්‍යවරු සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡා ඇරඹීමට නියමිතය. පාස්කු ඉරිදා ප්‍රහාරය, කොවිඩ් – 19 වසංගත තත්ත්වය හා ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදයෙන් පසු මෙරටට වැඩිම රාජ්‍ය නියෝජිතයන් පිරිසක් එකවර සහභාගි වන එකම සමුළුව මෙය වේ. මෙම සමුළුව අප රටට ඉතාමත් වැදගත් වන අතර 2026 දක්වා එක්සත් ජාතීන්ගේ ආහාර කෘෂිකර්ම සංවිධානයේ ආසියා පැසිෆික් කලාපීය සමුළුවේ සභාපතිත්වය එහිදී ශ්‍රී ලංකාවට ලැබීමට නියමිතය.
බුද්ධිකා ඉඹුලාන