Home » රජය සිදු කරන ආර්ථික ප්‍රතිසංස්කරණවල ප්‍රතිලාභ අනාගත පරපුරට නිසැකයෙන්ම හිමි වෙනවා

රජය සිදු කරන ආර්ථික ප්‍රතිසංස්කරණවල ප්‍රතිලාභ අනාගත පරපුරට නිසැකයෙන්ම හිමි වෙනවා

by sachintha
February 19, 2024 1:00 am 0 comment

ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සාගල රත්නායක

දීර්ඝ කාලයක් පුරා අතපසු වූ නමුත් රටට අවශ්‍ය ආර්ථික ප්‍රතිසංස්කරණ රැසක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ මඟ පෙන්වීමෙන් අද රට තුළ සිදු කෙරෙමින් තිබෙන අතර, ඒවා දේශපාලන වශයෙන් අවාසි සහගත වුවත් රටේ අනාගතයට වාසිදායක බව ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතා පැවසීය. ඒ මහතා මේ බව සඳහන් කර සිටියේ මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ප්‍රධාන ශ්‍රවණාගාරයේදී පසුගිය 15දා පැවති 2024 අය වැය යෝජනා සම්බන්ධ දැනුවත් කිරීමේ සම්මන්ත්‍රණයකට එක්වෙමිනි. ජනාධිපති වෘත්තීය සබඳතා අංශය විසින් මෙය සංවිධාන කර තිබිණි.

අතීතයේදී මැතිවරණ පිළිබඳ පමණක් සිතා තීන්දු ගැනීම රටේ ආර්ථිකය කඩාවැටීමට හේතු වූ බව පෙන්වා දුන් සාගල රත්නායක මහතා, වත්මන් රජය සිදුකරන ආර්ථික ප්‍රතිසංස්කරණවල ප්‍රතිලාභ අද දවසේ හිමි නොවුණද, රටේ තරුණ තරුණියන් සහ අනාගත පරපුරට නිසැක වශයෙන්ම ඒ ප්‍රතිලාභ හිමි වනු ඇති බවද සඳහන් කළේය.

රටේ ආර්ථිකය ස්ථාවර කිරීමට හැකි වුවද වැඩි වූ ජීවන වියදමට සාපේක්ෂව ජනතාවගේ ආදායම වැඩි නොවූ බවත්, ඒ හේතුවෙන් සියලු ක්ෂේත්‍රයන්හි ප්‍රතිසංස්කරණ සිදු කරමින් ජනතාවට උපරිම සහන සැලසීමට රජය කටයුතු කරමින් සිටින බවත් මෙහිදී පැවසූ සාගල රත්නායක මහතා, විශේෂයෙන් කෘෂිකාර්මික ක්ෂේත්‍රය නවීකරණය කිරීමත් සමඟ ජනතාවගේ ආදායම් මට්ටමද ඉහළ යන බව පෙන්වා දුන්නේය. එසේම ආර්ථික අර්බුදය හමුවේ කඩාවැටුණු සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපෘති නැවත නඟාසිටුවීමට මෙවර අය වැය මඟින් මුදල් වෙන් කර ඇති බවත්, ඉදිකිරීම් කර්මාන්තය දියුණු කිරීම තුළින් නැවත විශාල රැකියා ප්‍රමාණයක් උත්පාදනය කිරීමට හැකි වනු ඇති බවත්, ඒ සඳහා අවශ්‍ය වැඩපිළිවෙළ මේ වන විට රජය විසින් ක්‍රියාත්මක කර ඇති බවත් පැවසීය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සාගල රත්නායක මහතා මෙසේද පැවසීය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා රට භාරගෙන සතියක් දෙකක් යන විට රට තුළ නීතිය හා සාමය නැවත ස්ථාපිත කිරීමට හැකි වුණා. ඒ වගේම මූල්‍ය අර්බුදයට යම් විසඳුමක් ලබා දී, අවශ්‍ය මූලික සැපයුම් වන ඉන්ධන, ගෑස් සහ ඖෂධ ලබා දීමට කටයුතු කළා. එදා පොහොර නැතිව කෘෂිකර්මාන්තය කඩා වැටීමකට ලක්ව තිබුණා. මේ රටේ ආර්ථික කඩාවැටීමට ප්‍රධාන කරුණු දෙකක් හේතු වුණා. ඉන් පළමුවැන්න තමයි පොහොර ප්‍රතිපත්තිය නිසා ඇතිවූ කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ කඩාවැටීම. දෙවැනි හේතුව වූයේ රාජ්‍ය ආදායම් පිළිබඳ දැරූ ප්‍රතිපත්ති අනුව සිදු කළ බදු ආදායම අඩු කිරීම නිසා රජයට බදු ආදායම් අහිමි වීම. ඒ වගේම මැතිවරණ පිළිබඳ පමණක් සිතා ගත් තීන්දු තීරණ නිසා මතු වූ ප්‍රශ්න ගණනාවක් තිබුණා. මේ අර්බුද යම් තරමක් දුරට සමනය කර ගැනීමට අපට හැකියාව ලැබුණා. ඒ සඳහා විදේශ රටවලින් අපට ආධාර උපකාර ලැබුණා.

ඉන්පසුව රටේ ආර්ථික ස්ථාවරත්වය නැවත ඇති කිරීම වෙනුවෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වැඩසටහනකට යාමට ජනපති තීරණය කළා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ දීර්ඝ වශයෙන් සාකච්ඡා කර පීඩනයන් අවම කර ගනිමින් ඒ වැඩසටහන ක්‍රියාත්මක කිරීමට එකඟ වුණා. එහිදී රාජ්‍ය ආදායම් වැඩි කර ගැනීමට නම් බදු ප්‍රතිපත්ති වෙනස් කළ යුතුව තිබුණා. රුපියලේ අගය පහළ යාම නිසා රටේ ජනතාවගේ ජීවන බර වැඩි වුණා. මේ සමඟ බදු වැඩි කළ විට ජනතාව තවත් පීඩාවට පත්වෙනවා. නමුත් එය සිදු නොකළහොත් කෙසේවත් රට ඉදිරියට ගෙන යාමට නොහැකි වෙනවා. නමුත් වසර දෙක තුනක් මේ අසීරුතා විඳ දරාගතහොත් අපට සහනයක් ලබා ගත හැකියි. ඒ අනුව අප ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ගිවිසුම් ගත වෙලා ඒ වැඩසටහනට එළැඹුණා.

මේ තත්ත්වයට පත්වූ අනෙක් රටවලට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ගිවිසුම්ගත වීමට දීර්ඝ කාලයක් ගත වුණා. නමුත් අපේ රට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ කඩිනමින් ගිවිසුම්ගත වීම නිසා ජාත්‍යන්තරය තුළ අප කෙරෙහි විශ්වාසයක් ඇති වුණා. අපේ රටේ ආර්ථිකය නැවත හැරවිය හැකි බවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අපට ලබා දුන් සහතිකය, අපට වඩාත් වාසිදායක වුණා. ඒ අනුව නව ප්‍රතිසංස්කරණ රැසක් සමඟ අප ඉදිරි වැඩපිළිවෙළ ක්‍රියාත්මක කළා. ඒ වගේම ජනතාවට මුහුණ දීමට සිදු වන අසීරුතා පිළිබඳ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟත්, වෙනත් ජාත්‍යන්තර මූල්‍ය ආයතන සමඟත් සාකච්ඡා කර සහන ලබා ගැනීමට කටයුතු කළා. “අස්වැසුම” ඒ අනුව ක්‍රියාත්මක කළ ප්‍රධාන වැඩසටහනක්. ඉදිරියේදී එය තව තවත් පුළුල් කිරීමට අපේක්ෂා කරනවා. මේ වැඩසටහන සමඟ ජනතාවගේ මූල්‍ය දුෂ්කරතා යම් තරමකින් හෝ පියවා ගැනීමට හැකියාව ලැබෙනවා. ඒවගේම එහි ප්‍රතිලාභීන් ප්‍රමාණය ලක්ෂ 24 දක්වා වැඩි කර තිබෙනවා. සමෘද්ධියට වෙන් කරන මුදලට වඩා තුන් ගුණයක් අප අස්වැසුම සඳහා වෙන් කළා. ඒ මුදල සෘජුව ප්‍රතිලාභීන්ගේ ගිණුම්වලට බැර කෙරෙනවා. ඉදිරියේදී ඩිජිටල්කරණය සමඟ ඒ වැඩසටහන තවත් දියුණු කිරීමට සැලසුම් කර තිබෙනවා.

ඒ වගේම ගර්භිණී මවුවරුන්ට දුන් පෝෂණ මල්ල නැවත ලබා දීමට කටයුතු කළා. වැඩිහිටියන්ට, වකුගඩු රෝගීන්ට සහ විශේෂ අවශ්‍යතා ඇති පුද්ගලයන්ගේ දීමනා නියමිත පරිදි ලබා දෙමින් ඒ ප්‍රතිලාභීන් සංඛ්‍යාව වැඩි කර තිබෙනවා. පාසල් දරුවන්ගේ පෝෂණ ගැටලු හඳුනාගෙන විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කළා. මෙවැනි වැඩසටහන් අපි දිගින් දිගටම දියුණු කරමින් ඉදිරියට ගෙන යනවා. ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩසටහනද මේ වන විට සාර්ථකව සිදු වෙනවා. එහි පළමු පියවර වන ද්විපාර්ශ්වික ණය ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳ පැරිස් සමාජය සමඟ එකඟතාවකට පැමිණ තිබෙන අතර, එය ප්‍රකාශයට පත්කිරීමට ආසන්න තත්ත්වයේ පවතිනවා. එය ප්‍රකාශයට පත් වීමත් සමඟ අපේ රට සම්පූර්ණයෙන් බංකොලොත්භාවයෙන් නිදහස් වෙනවා. ඒ අනුව ජාත්‍යන්තරයේ ණය ලබා ගැනීමේ තත්ත්වය ශක්තිමත් වන අතර, රටට සහන ලැබෙනවා වගේම රටට ආයෝජකයන් පැමිණීමට පටන් ගන්නවා.

බංකොලොත්භාවයෙන් නිදහස් වී අප සාමාන්‍ය රටක් ලෙස නැවත ගනුදෙනු ආරම්භ කළ යුතුයි. අප නව ආදායම් මාර්ග උත්පාදනය කරගත යුතුයි. ඒ සඳහා අප ඉදිරියේදී විශේෂ අවධානයක් යොමු කර තිබෙනවා. කෘෂිකර්ම නවීකරණ වැඩසටහන ඒ වෙනුවෙන් ක්‍රියාත්මක කළ ප්‍රමුඛ වැඩසටහනක් බව කිව යුතුයි. දැනට ලංකාවේ කුඹුරු හෙක්ටයාරයකින් අස්වැන්න ලැබෙන්නේ ටොන් 04ක පමණ ප්‍රමාණයක්. එය දෙගුණයක් කර ගැනීමට හැකි වැඩසටහනක් දැන් සකස් කර ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබෙනවා. ඒ වැඩසටහන් මේ වර්ෂයේදී ග්‍රාමීය වශයෙන් ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරනවා.

ඒ වගේම සංචාරක කර්මාන්තය කෙරෙහි අප විශේෂ අවධානයක් යොමු කර තිබෙනවා. දැනටමත් මෙරටට පැමිණෙන සංචාරකයන්ගේ ප්‍රමාණයේ වැඩි වීමක් දක්නට ලැබෙන අතර, පසුගිය වසරේ සංචාරකයක් 14,89,000ක් මෙරටට පැමිණ තිබෙනවා. එය ඊට පෙර වසරට වඩා දෙගුණයක වැඩි වීමක් බව කිව යුතුයි. මෙරටට වැඩිම සංචාරකයන් ප්‍රමාණයක් පැමිණියේ 2017දීයි. ඒ සංඛ්‍යාව ලක්ෂ 25ක්. අපේ ඉලක්කය වන්නේ ඒ ප්‍රමාණය අභිභවා යාම පමණක් නොවෙයි. ලබන වසර වන විට එය තවත් ඉහළ නංවා ගැනීමයි. එමෙන්ම දැනට මෙරටට පැමිණෙන සංචාරකයන් දිනකට ඩොලර් 100ක් පමණ වැය කරන සංචාරකයන්. ඔවුන්ට අමතරව දිනකට ඩොලර් 500ක් පමණ වැය කරන ඉහළ පෙළේ සංචාරකයන්ද මෙරටට ගෙන්වා ගැනීමට අප නව වැඩසටහන් සැලසුම් කර තිබෙනවා. ඒ වගේම නිෂ්පාදන ක්ෂේත්‍රයේ, ඉදිකිරීම් කර්මාන්තය යන මේ සියලු අංශවල පරිවර්තනීය වෙනසක් ඇති කිරීමට රජය සැලසුම් සහගතව කටයුතු කරනවා.

පසුගිය ආර්ථික කඩාවැටීම නිසා අප සියලු දෙනා පීඩාවට පත් වුණා. දීර්ඝ කාලයක් පුරා අතපසු වූ ප්‍රතිසංස්කරණ රැසක් අප මේ වන විට සිදු කරමින් සිටිනවා. මෙය දේශපාලන වශයෙන් අවාසි සහගත වුවත් රටේ අනාගතයට වාසිදායකයි. ඇතැම් විට මෙහි සිටින අපට එහි ප්‍රතිඵල 100%ක්ම දැක ගැනීමට නොහැකි වෙයි. නමුත් අනාගත පරපුරට සහ තරුණ තරුණියන්ට නිසැක වශයෙන්ම එහි ප්‍රතිලාභ හිමි වෙනවා. ඒ සඳහා අප මේ මාර්ගයේම ඉදිරියට යා යුතුයි. මේ බොහෝ ආර්ථික ප්‍රතිසංස්කරණ අප සිදු කරන්නේ නැවත හරවන්න බැරි අන්දමින් පාර්ලිමේන්තුව හරහා නීතිගත කිරීමෙන් පසුවයි. නමුත් අපි ඒ වැඩකටයුතු ක්‍රමානුකූලව අවසන් කළ යුතුයි. ඒ සඳහා අප රටක් ලෙස එක්විය යුතුයි.

ආර්ථික කටයුතු පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග මහතා සම්මන්ත්‍රණයට එක්වෙමින් අදහස් පල කළේ මේ ආකාරයෙනි.

2022 අප්‍රේල් මාසයේ 12 වැනි දින ණය ගෙවිය නොහැකි බවට පළමු වතාවට රජය ප්‍රකාශයට පත් කළා. නමුත් අපි ණය නොගෙව්වේ විදේශ රටවලින් ගත් ණය සහ ජාත්‍යන්තර බැඳුම්කරවලට ගත් ණය පමණයි. අප එදා සිට අපේ දේශීය ණය, ජාත්‍යන්තර ප්‍රධාන මූල්‍ය ආයතනවලින් ගත් ණය අඛණ්ඩව ගෙවාගෙන ආවා. නමුත් වැඩි කොටසක් තිබුණේ විදෙස් රටවලින් ගත් ණය සහ පුද්ගලික ණය නිසා ඒවායේ ගෙවීම් සිදු කළේ නැහැ. කෙසේ වුවත් පුද්ගලිකවත් ලබාගත් ණය ගෙවිය නොහැකියි කියන්නේ බංකොලොත්භාවය තමයි. අවුරුදු 100ක් වැනි මෑත ඉතිහාසය තුළ කවදාවත් මෙවැනි තත්ත්වයකට පත් වී නැහැ. ඒ නිසා ඒ 2022 අප්‍රේල් 12දා, ශ්‍රී ලංකා ආර්ථික සහ සමාජ දේශපාලන ඉතිහාසයේ කඩඉම් වර්ෂයක් හා දිනයක් ලෙස හඳුන්වන්න පුළුවන්.

මේ අවස්ථාවේදී පාර්ලිමේන්තුවත්, ජනතාවත් කියා සිටියේ මේ තත්ත්වයෙන් ගොඩ ඒමට නම් කළ යුතු එකම දේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යාම බවයි. ඒ අනුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට කතා කළත්, ඒ නිලධාරීන් ඒ අවස්ථාවේ මෙරටට පැමිණීමට බිය වුණා. සූම් සාකච්ඡා හරහා ඉතා අසීරු ගමනක් ගිහින් සැප්තැම්බර් 01දා අපට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ කොන්දේසි සහිත එකඟතාවකට පැමිණීමට හැකි වුණා. වසර 04ක කාලයක් සඳහා ඩොලර් බිලියන 03ක එකඟතාවයකට පැමිණියත් ශ්‍රී ලංකාව ණය නොගෙවන බවට ප්‍රකාශයට පත් කර ඇති බැවින් එය ලබා දිය නොහැකි බව ඔවුන් පැවසුවා. ණය හිමියන් සමඟ සාකච්ඡා කොට ණය ගෙවන වැඩපිළිවෙළක සිටින බවට එකඟතාවකට පැමිණෙන ලෙස ඔවුන් දැන්වුවා. ඒ අනුව ජාත්‍යන්තර සංවිධාන දෙකක උපදෙස් ලබා ගනිමින් මාස 07ක් තිස්සේ සාකච්ඡා සිදු කර, 2023 මාර්තු 20දා තමයි අපට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අධ්‍යක්ෂ මණ්ඩල එකඟතාව ලැබුණේ. එය ලොකු මුදලක් නොවෙයි වුවත් ලංකාවේ හොඳ ආර්ථික වැඩපිළිවෙළක් තිබෙන බවට සහතිකයක් ලබා ගැනීමට හැකි වුණා.

මෙහිදී ජනාධිපති වෘත්තීය සමිති අධ්‍යක්ෂ ජනරාල් සමන් රත්නප්‍රිය මහතා මෙලෙස අදහස් දැක්වීය.

2024 අය වැය ලේඛනය කියන්නේ, මේ වසර තුළ රට ගෙන යන්නේ කොතැනටද කියන කාරණය පිළිබඳ සාකච්ඡා කරන මූල්‍යමය ලියවිල්ලයි. එය නිසි ලෙස අධ්‍යයනය කර ඊට දායකත්වය ලබා දෙන්නේ කෙසේද යන්න පිළිබඳ නිවැරදි අදහසක් ලබා ගැනීම අතිශය වැදගත් කාරණාවක්. ජනාධිපතිගේ නිවැරදි වැඩපිළිවෙළ නිසා වසර දෙකක් වැනි කෙටි කාලයක් තුළ අද අපට රටක් ලෙස නැවත නැඟී සිටීමට හැකියාව ලැබී තිබෙනවා. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ඒ වැඩපිළිවෙළ අද ලෝකය පිළිගෙන තිබෙනවා. වැටුණු රටවල් අතරින් ඉක්මනින් නැඟී සිටින රට බවට ශ්‍රී ලංකාව පත්ව තිබෙන බව අද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවා ප්‍රකාශ කර තිබෙනවා.

දකුණු පළාත් ආණ්ඩුකාර ආචාර්ය විලී ගමගේ, පාර්ලිමේන්තු මන්ත්‍රී චමල් රාජපක්ෂ යන මහත්වරුන්ද, පළාත් අමාත්‍යාංශ ලේකම්වරු, ගාල්ල දිස්ත්‍රික් ලේකම්, හම්බන්තොට දිස්ත්‍රික් ලේකම් ඇතුළු රාජ්‍ය නිලධාරීන්, ත්‍රිවිධ හමුදා සහ පොලිසියේ සාමාජිකයන් ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT