අමාත්‍ය මහින්ද අමරවීර මහතා රබර් නිෂ්පාදන කටයුතු නිරික්ෂණය කළ අයුරු
පරිසර හිතකාමී ‘හරිත මකන’ නිෂ්පාදනයත් අරඹයි
සුළු හා මධ්‍ය පරිමාණ රබර් ආශ්රිත කර්මාන්තවල යෙදෙන කර්මාන්තකරුවන්ට රත්මලාන රබර් පර්යේෂණ ආයතනයේදී නිෂ්පාදන පහසුකම් සපයා දීමේ වැඩපිළිවෙළක් ආරම්භ කර ඇත.
රබර් නිෂ්පාදන කර්මාන්තය ආශ්‍රිතව කටයුතු කරන සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන්ට තම නිෂ්පාදන කටයුතුවලදී අවශ්‍ය මෝල්ඩ් සකස් කර ගැනීම හා යන්ත්රසූත්ර පහසුකම් නැති වීම බරපතළ ගැටලුවක්ව පවතී.
එම පහසුකම් පුද්ගලික අංශයෙන් ලබා ගන්නේ නම් ඔවුන්ට විශාල නිෂ්පාදන වියදමක් දැරීමට සිදු වේ. එම ගැටලුවලට විසඳුම් ලබාදෙමින් රත්මලාන රබර් පර්යේෂණ ආයතනය මඟින් පසුගියදා මෙරට සුළු හා මධ්‍ය පරිමාණ රබර් කර්මාන්තකරුවන්ට යාන්ත්‍රික පහසුකම් ලබා දීමේ මෙම වැඩසටහන ආරම්භ කෙරිණි.
මෙහිදී රුපියල් මිලියන 100ක වියදමින් රබර් ආශ්රිත නිෂ්පාදන සැකසුම් යන්ත්‍ර 03ක් කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා අතින් විවෘත විය.
එහිදී රබර් පර්යේෂණ මධ්‍යස්ථානයේ පළමු නිෂ්පාදනය ලෙසින් පාසල් දරුවන් භාවිත කරන මකන (Eraser) තොගයක් නිෂ්පාදනය කිරීම ආරම්භ කළ අතර, මෙම මකන පරිසර හිතකාමී හරිත නිෂ්පාදනයක් බව රබර් පර්යේෂණ ආයතනය සඳහන් කර තිබිණි.
දැනට ලංකාවේ පාසල් දරුවන් භාවිත කරන මකනවලින් 95%ක්ම පරිසරයට මෙන්ම සිරුරට ද හානිකර PVCවලින් සකස් කරන ලද ඒවා වේ. නමුත් පසුගියදා හඳුන්වා දුන් හරිත මකන විශේෂය මුළුමනින්ම ක්‍රේප් රබර්වලින් නිෂ්පාදනය කර තිබේ.
මෙම යන්ත්රසූත්ර භාවිත කරමින් තම නිෂ්පාදන කටයුතු ඇරඹීමට එදිනම ආයතන දෙකක් ඉදිරිපත් වූ අතර, ඔවුන් සමඟ අවබෝධතා ගිවිසුම්ගත වීම ද සිදුවිය.
මෙම අවස්ථාවට සහභාගි වූ කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා ඒම නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේ රබර් කර්මාන්තයෙන් වාර්ෂිකව ශ්‍රී ලංකාව උපයන ආදායම අමෙරිකන් ඩොලර් බිලියනයක් වුවත් මෙම වර්ෂය තුළ එම ප්‍රමාණය අමෙරිකන් ඩොලර් බිලියන දෙකක් දක්වා ඉහළ නැංවීමට පියවර ගන්නා ලෙසය.
එමෙන්ම පහතරට තෙත් කලාපයේ සිදු කෙරෙන රබර් වගාව ආශ්‍රිතව ඵලදායීතාව පහත වැටී ඇති බැවින් තවදුරටත් එම කලාපයේ රබර් වගාව පුළුල් කළ යුතු ද යන්න පිළිබඳ අවධානය යොමු කරන ලෙස ද උපදෙස් ලබා දෙන ලදි.
අනුරාධපුර, මොනරාගල, පොලොන්නරුව වැනි වියළි කලාප තුළ දැනට සිදු කර ඇති රබර් වගා සාර්ථක වී ඇති බැවින් වගාව ව්‍යාප්ත කිරීම එම ප්‍රදේශ ඉලක්ක කර ක්‍රියාත්මක කරන ලෙස ද උපදෙස් දුන්නේය.
මෙම අවස්ථාවට රබර් පර්යේෂණ ආයතනය හා රබර් සංවර්ධන දෙපාර්තමේන්තුව නියෝජනය කරමින් එම ආයතනවල නිලධාරීහු රැසක් සහභාගි වූහ.
බුද්ධිකා ඉඹුලාන