අපනයනය වෙළෙඳපොළ ඉලක්ක කර ගනිමින් මහවැලි කලාපවල කෘෂි කර්මාන්තය සංවර්ධනය කිරීම ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ ප්‍රධාන අරමුණක් බවත්, ආසියානු සංවර්ධන බැංකුවෙන් දීමට එකඟවී තිබෙන ඩොලර් මිලියන 08ක ප්‍රතිපාදන ඉතා විනිවිදභාවයෙන් යුතුව සුහුරු කෘෂි කාර්මාන්තය නඟාසිටුවීමට යෙදවිය යුතු බවත් වාරිමාර්ග, වනජීවී සහ වන සංරක්ෂණ ඇමැතිනී, නීතිඥ පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ප්‍රකාශ කළාය.
ඇමැතිනිය මේ අදහස් පළ කළේ පෙරේදා (17) ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේදී පැවති අංශ ප්‍රධානීන්ගේ සාකච්ඡාකට සහභාගි වෙමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඇමැතිනිය මෙසේ ද පැවැසුවාය.
“රටේ පරිභෝජනයට අවශ්‍ය ආහාර භෝග නිෂ්පාදනයෙන් සැලකිය යුතු ප්‍රතිශතයක් මහවැලි කලාපයෙන් දීමට හැකියාව තිබෙනවා. මේ වන විටත් මහවැලි වලව කලාපයේ චන්ද්‍රිකා වැව කොට්ඨාසයේ ගොවීන් තුන්සියයකට ආසන්න සංඛ්‍යාවක් අපනයනය සඳහා කෙසෙල් වගාවේ නිරතව සිටිනවා. එය සෙසු මහවැලි කලාපවලට ද ව්‍යාප්ත කිරීමට සැලසුම් කර තිබෙනවා. එමෙන්ම මහවැලි ජනතාවගේ දැවෙන ප්‍රශ්න සඳහා ප්‍රමුඛතාව දී ඔවුන් ආර්ථික හා සමාජීය වශයෙන් සවිබල ගැන්වීමට ඵලදායි ව්‍යාපෘති ක්‍රියාවට නැංවීමෙන් අපේක්ෂා කරනවා.
මහවැලි කලාපය වෙනුවෙන් ක්‍රියාත්මක වැඩ සැලැස්ම යටතේ මේ වසර සඳහා ව්‍යාපාර සංවර්ධනය, කෘෂිකර්ම, පශු සම්පත් හා ආයතන සංවර්ධන, සංචාරක අංශවල වැඩසටහන් කඩිනමින් ක්‍රියාත්මක කර ජනතාවට ප්‍රතිලාභ හිමි වන ආකාරයට කටයුතු කරන ලෙස මම නිලධාරීන්ට උපදෙස් දුන්නා. අඩු ආදායම්ලාභී පවුල් පිළිබඳව විශේෂ අවධානයක් යොමු කර නිවාස, සනීපාරක්ෂක ඇතුළු පොදු යටිතල පහසුකම් සපයා දීමටත්, ඔවුන්ගේ ගෘහ ආර්ථිකය ශක්තිමත් කිරීමට කුකුළු හා කිරිගව පාලනය, බිම්මල් හා ගෙවතු වගාව, ඇඟලුම් වැනි ස්වයං රැකියා වැඩසටහන් කෙරෙහි වැඩි අවධානයක් යොමු කළ යුතුයි.”
මේ අවස්ථාවට වාරිමාර්ග අමාත්‍යාංශයේ ලේකම් වසන්ත පාඬිකෝරාල, ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ නව අධ්‍යක්ෂ ජනරාල් මහේන්ද්‍ර අබේවර්ධන යන මහත්වරුන් ඇතුළු මහවැලි අංශ ප්‍රධානීහු සහභාගිවී සිටියහ.
ස්වර්ණා විජේකෝන් සහ නෙත්මි පූජනී රත්නායක