Saturday, May 10, 2025
Home » වෛද්‍ය බෙල්ලන මුදාගැනීමේ මෙහෙයුමේදී ඩමියට ගිය PCට සුළු සේවකයෝ නෙළලා

වෛද්‍ය බෙල්ලන මුදාගැනීමේ මෙහෙයුමේදී ඩමියට ගිය PCට සුළු සේවකයෝ නෙළලා

by sachintha
February 19, 2024 1:09 am 0 comment

බෙල්ලන පස්ස දොරෙන් ගිහින්

ඇඳ ඇතිරිල්ලකින් වසා කොස්තාපල්වරයකු වෛද්‍ය බෙල්ලන මහතා යැයි හඟවමින් රෝහල් පරිශ්‍රයෙන් පිටතට ගත් අයුරු.

සුළු සේවකයන් විසින් සිය කාර්යාලයේ පැය 07ක පමණ කාලයක් තිස්සේ සිරකරගෙන සිටින අවස්ථාවේදී කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා ලෙස සුළු සේවකයන්ව රැවටීමකට ලක්කර පසුගිය සිකුරාදා ඇඳ ඇතිරිල්ලකින් වසා පොලිස් ජිප් රථයේ දමාගෙන රැගෙන යනු ලැබුවේ පොලිස් කොස්තාපල්වරයකුව බව පොලිස් තොරතුරු අනාවරණය කළේය. එතරම් උස මහත නොමැති එම කොස්තාපල්වරයාව එසේ විරෝධය පාමින් සිටි සුළු සේවකයන් මැදින් රැගෙන ගොස් පොලිස් ජිප් රථයට දමා ගන්නා අතර තුර ඇතිවූ උණුසුම් තත්ත්වය හමුවේ රුක්ෂාන් බෙල්ලන මහතාව පොලිසිය ඔහුගේ කාර්යාලයෙන් පිටතට ගෙන කොරිඩෝව දිගේ පොලිස් නිලධාරීන් වටකරගෙන ජාතික රෝහලේ හදිසි අනතුරු අංශය පිහිටි ගොඩනැඟිල්ලට රැගෙන ගොස් හදිසි අනතුරු අංශයේ අංක 04 ගේට්ටුවෙන් පිටතට රැගෙන ගොස් ඇත්තේ පොලිස් ජිප් රථයක දමාගෙනය. එසේ රුක්ෂාන් බෙල්ලන මහතාව පොලිසිය මැදිකරගෙන හදිසි අනතුරු අංශය පිහිටි ගොඩනැඟිල්ලෙන් පිටතට රැගෙන යන අයුරු සුළු සේවකයන් කිහිප දෙනෙක් දැක විරෝධය පාමින් කෑකෝ ගසා ඇතත් වැඩි පිරිසක් රැඳී සිට ඇත්තේ රුක්ෂාන් බෙල්ලන මහතාගේ කාර්යාලය පිහිටි ප්‍රදේශයේ වූ බැවින් ඔහුව පිටතට රැගෙන යාමට එම සේවකයන් දෙතුන් දෙනාගේ විරෝධය පෑම ප්‍රමාණවත් වී නැත. රුක්ෂාන් බෙල්ලන මහතා ලෙස ඇඳ ඇතිරිල්ලකින් වසාගෙන ගිය පොලිස් නිලධාරියාට බෙල්ලන මහතා යැයි සිතා විරෝධතාකරුවන් කිහිප දෙනෙක් පහර දී ඇති බව ද පොලිස් තොරතුරු සඳහන් කළේය. බෙල්ලන මහතා රෝහල් පරිශ්‍රයෙන් හදිසි අනතුරු අංශය දෙසින් පිටව ගිය බවට විරෝධතාවේ නිරත සුළු සේවකයන් දැන ගන්නා විට රෝහල් පරිශ්‍රයෙන් ඔහු පිටව ගොස් හමාර බව ද පොලිස් තොරතුරු සඳහන් කළේය.

ඡායාරූපය – සුදත් මලවීර

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT