කොළඹ නගරයේ ස්ථාපිත කර ඇති ආරක්ෂක කැමරා පද්ධතියෙන් රථවාහන වැරැදි සම්බන්ධයෙන් නඩු ලබා ගැනීම් ආරම්භ කළ පසුගිය 01 වෙනිදා සිට 15 වෙනිදා දක්වා කාලය තුළ නඩු 793ක් ලබා ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව මහතා සඳහන් කළේය. මාර්ග නීති උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් එසේ ආරක්ෂක කැමරාවලට හසුවූ වාහනවල අංකයට අනුව හිමිකරුවන් හඳුනාගෙන ඒ සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කිරීමට අදාළ වාහනවල හිමිකරුවන්ගේ නිවෙස් වෙත ලිපි නිකුත් කිරීමේ කටයුත්ත පොලිස් ස්ථාන 300ක පමණ ප්‍රමාණයකට පැවරී ඇති බවද නිහාල් තල්දූව මහතා කීය. ආරක්ෂක කැමරා පරීක්ෂා කරමින් දැනට නඩු ගැනීම් සිදුවන්නේ තෝරාගත් කාලසීමාවකදී පමණක් බවත් ඉදිරියේදී එය පැය 24 පුරාම ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරන බවත් නිහාල් තල්දූව මහතා සඳහන් කළේය.
“ආරක්ෂක කැමරා මඟින් නඩු ගැනීමේ මෙම ක්‍රමවේදය අපි කාලයක් පුරාවටම ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරපු දෙයක්. මේක පහසු කටයුත්තක් නෙමෙයි. දුෂ්කර කාර්යයක්. අමාරුවෙන් හරි අපි මේ දේ කළ යුතුයි. අපි මේ වැඩසටහන පටන් ගත්තු නිසා වාහන ලියාපදිංචි කිරීම්ද ඉහළ ගොස් තිබෙනවා. විවෘත ලේඛන මත වාහන අලෙවි කිරීම්වලට පවා මේ නිසා වැට බැඳිල තියෙනවා. මේ කටයුත්ත අපි ව්‍යාප්ත කරන්න ඕනේ.” යැයි අපරාධ හා රථවාහන අංශය භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා සඳහන් කළේය.
කොළඹ නගරයේ මේ වන විට ස්ථාන 33ක ආරක්ෂක කැමරා 108ක් ස්ථාපිත කර ඇත. එම කැමරා සියල්ලකම දර්ශන නිරීක්ෂණය කිරීමේ මැදිරිය පිහිටා ඇත්තේ කොළඹ පිටකොටුවේ පිහිටි නියෝජ්‍ය පොලිස්පති කාර්යාල සංකීර්ණය පිහිටි ගොඩනැඟිලි සංකීර්ණය තුළය. මෙම කැමරා පද්ධතිය හැරුණු කොට කැමරා සවිකළ වෑන් රථ දෙකක් දිවයිනේ නගර ආශ්‍රිතව ස්ථාපිත කර ඒ තුළින්ද නඩු ගැනීම් මේ වන විට සිදු කරමින් පවතී. කොළඹ නගරයේ සවිකර ඇති මෙම ආරක්ෂක කැමරා පද්ධතිය ස්ථාපිත කෙෙරන්නේ 2010 වසරේදීය. එම කැමරා පද්ධතිය ස්ථාපිත කිරීමෙන් පසු කැමරාවලින් නිරීක්ෂණය කර මාර්ග නීති උල්ලංඝනය කළ රියැදුරන් නීතියේ රැහැනට හසුකර ගැනීම් දිගින් දිගටම සිදුවිය. එහිදී සිදුවූයේ නීති උල්ලංඝනය කළ වාහනයේ අංකය ඉදිරියෙන් සිටින රථවාහන අංශයේ නිලධාරියකුට දැනුම් දෙමින් නඩු පැවරීම් හෝ දඩ පත්‍රිකා නිකුත් කිරීම්ය.
එසේ 2010 වසරේ දෙසැම්බර් 29 වෙනිදා සිට 2023 වසරේ දෙසැම්බර් 31 වෙනිදා දක්වා කාලය තුළ ආරක්ෂක කැමරා නිරීක්ෂණය කර වැරැදි කළ රියැදුරන් එක්ලක්ෂ දහහතර දහස් නවසිය අසූදෙදෙනෙකුට (114,982) එරෙහිව නීතිය ක්‍රියාත්මක කර ඇත. එසේම රිය අනතුරු 66512ක් ද මෙම කැමරා පද්ධතිය තුළින් මේ කාලය තුළ නිරීක්ෂණය කර රියැදුරන්ට එරෙහිව නඩු පැවරීම් ද කර තිබේ.
ගයාන් කුමාර වීරසිංහ