Friday, May 16, 2025
Home » අමෙරිකා උපලේකම් ලිෂ් ඇලන් ශ්‍රී ලංකාවට

අමෙරිකා උපලේකම් ලිෂ් ඇලන් ශ්‍රී ලංකාවට

by sachintha
February 19, 2024 2:00 am 0 comment

ශ්‍රී ලංකා – අමෙරිකා සබඳතා තවදුරටත් ශක්තිමත් කරමින් නිල සංචාරයක් සඳහා අමෙරිකා එක්සත් ජනපදයේ රාජ්‍යත්‍රාන්ත්‍රික කටයුතු පිළිබඳ උප ලේකම් ලිෂ් ඇලන් මහත්මිය ශ්‍රී ලංකාවට පැමිණ තිබේ.

‘ගෝලීය මාධ්‍ය අවකාශය සහ ප්‍රජාතන්ත්‍රවාදය කෙරෙහි එහි බලපෑම’ යන මාතෘකාව යටතේ, ඇලන් මහත්මිය කොළඹ දී විශේෂ දේශනයක් පවත්වනු ඇති අතර, එය ශ්‍රී ලංකා පුවත්පත් ආයතනය විසින් සංවිධානය කරයි. ඊයේ (18) ඇලන් මහත්මිය මෙරටට පැමිණියේ ජෝර්දානයේ කළ සංචාරයකින් පසුව වන අතර ඇය උණුසුම් ලෙස පිළිගනු ලැබුවේ මෙරට අමෙරිකන් තානාපතිනී ජූලී චංග් මහත්මිය විසිනි.

ශ්‍රී ලංකාවට අමතරව ඒ මහත්මිය ජෝර්දානයේ සහ ඉන්දියාවේ ද සංචාරය කරන අතරතුර ශ්‍රී ලංකාවට පැමිණි බව ශ්‍රී ලංකාවේ අමෙරිකා එක්සත් ජනපද තානාපති කාර්යාලය පවසයි. ඒ අනුව උප ලේකම්වරිය පසුගිය 12 දා සිට එළඹෙන 22 දක්වා ජෝර්දානය, ශ්‍රී ලංකාව සහ ඉන්දියාව යන රටවල සංචාරයක නිරත වන බව එම තානාපති කාර්යාලය පෙන්වා දෙයි.

හවුල්කාරිත්වයන් සහ සන්ධාන ශක්තිමත් කිරීම මෙන්ම පුළුල් කිරීම සඳහා එක්සත් ජනපදයේ කැපවීම ඇයගේ මෙම සංචාරය මඟින් පෙන්වාදෙන අතර ඊට අමතරව එක්සත් ජනපද විදේශ ප්‍රතිපත්තිය සහ මහජන රාජ්‍යතාන්ත්‍රික මුලපිරීම්වල හරය, ප්‍රකාශනයේ නිදහස, ආර්ථික සවිබල ගැන්වීම සහ ගෝලීය සහයෝගීතාව පෝෂණය කරන බව ද කියා සිටී. ඇයගේ සංචාරයේ දී ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රකෘතිය සඳහා සහ නිදහස් හා විවෘත ඉන්දු-පැසිෆික් කලාපයක් ප්‍රවර්ධනය කිරීම සඳහා එක්සත් ජනපදයේ සහාය යළි තහවුරු කිරීම ද සිදුකරයි.

මෙරට සංචාරය කරන අතරතුර එක්සත් ජනපද රාජ්‍යතාන්ත්‍රික කටයුතු පිළිබඳ උප ලේකම්වරිය පාර්ශ්ව රැසක් හමුවී සාකච්ඡා කිරීමට නියමිත බව ද ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපති කාර්යාලය පවසයි.

මහින්ද අලුත්ගෙදර

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT