ශ්‍රී ලංකා – ඉරාන මිතුදම තවදුරටත් ශක්තිමත් කරමින් දෙදින නිල සංචාරයක් සඳහා ඉරාන විදේශ කටයුතු ඇමැති ආචාර්ය හොසේන් අමීර් අබ්දුල්ලාහියන් මහතා අද (19) ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව තිබේ. ශ්‍රී ලංකා විදේශ කටයුතු ඇමැති අලි සබ්රි මහතාගේ ආරාධනයකට අනුව මෙරටට පැමිණෙන ඉරාන විදේශ ඇමැතිවරයා එළඹෙන 21 දා තෙක් මෙරට රැඳී සිටින බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.
මෙම සංචාරයේ දී ඉරාන විදේශ ඇමැතිවරයා, ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ අගමැති දිනේෂ් ගුණවර්ධන මහත්වරු හමුවීමට නියමිතව තිබෙන අතර විදේශ කටයුතු අමාත්‍යාංශයේ දී ඇමැති අලි සබ්රි මහතා සමඟ ද්වීපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට ද නියමිතව ඇත.
පසුගිය 2023 වසරේ අගෝස්තු මාසයේ දී විදේශ ඇමැති අලි සබ්රි මහතාගේ ටෙහෙරාන් සංචාරය අතරතුර විදේශ ඇමැති ආචාර්ය හොසේන් අමීර් අබ්දුල්ලාහියන් මහතා සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීය.
නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණෙන ආචාර්ය අමීර් අබ්දුල්ලාහියන් මහතා මෙරට රැඳී සිටින කාලයේ දී ජනාධිපති කාර්යාලය, විදේශ කටයුතු අමාත්‍යාංශය, බලශක්ති අමාත්‍යාංශය සහ අනෙකුත් අදාළ අමාත්‍යාංශවල ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ද හමුවීමට නියමිතයි.
මහින්ද අලුත්ගෙදර