එජාප සභාපති වජිර අබේවර්ධන පොලොන්නරු දිස්ත්‍රික් සම්මේලනයේදී කියයි
වැඩවර්ජන නතර නොකළොත් රට යළි පෝලිම් යුගයකට යෑමේ අවදානමක් පවතින බව එක්සත් ජාතික පක්ෂ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී, වජිර අබේවර්ධන මහතා පැවසීය. පොලොන්නරු බුද්ධි මණ්ඩපයේදී පැවති එක්සත් ජාතික පක්ෂ දිස්ත්‍රික් සම්මේලනය අමතමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.
එක්සත් ජාතික පක්ෂයේ පොලොන්නරුව ආසන සංවිධායක, හිටපු නියෝජ්‍ය අමාත්‍ය චන්ද්‍රසිරි සූරියආරච්චි මහතා සංවිධාන කර තිබූ මේ සමුළුව පොළොන්නරුව බුද්ධි මණ්ඩපයේදී පසුගිය 15 දා පැවැත්විණි.
එහිදී වජිර අබේවර්ධන මහතා මෙසේද සඳහන් කළේය.
ගොවි ජනතාවත්, පෞද්ගලික අංශයේ වැඩකරන ජනතාවත් තම දහඩිය මහන්සියෙන් උපයන මුදල්වලින් තමයි රාජ්‍ය අංශයේ සියලු දෙනාගේ වැටුප් ගෙවන්නේ. ඒ නිසා රාජ්‍ය යන්ත්රණයේ නියුතු අයගේ යුතුකමක් තිබෙනවා ගොවි පරපුර සහ පෞද්ගලික අංශයේ ජනතාව වෙනුවෙන් ක්‍රියා කරන්න. බංකොලොත් වූ රටක සිදු වන වැඩවර්ජන ලෝකය පුරා මාධ්‍ය මඟින් ප්‍රදර්ශනය වුණාම ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයන් අඩු වෙනවා. දැන් මේ ප්රදේශයෙත් සංචාරක ව්‍යාපාරය විශාල වශයෙන් ව්‍යාප්ත වී තියෙනවා. හෝටල් අද විදේශිකයන්ගෙන් පිරිලා. විදේශිකයන් පැමිණීම අඩු වුණොත් බංකොලොත් වෙලා තිබුණු රටේ ආයෙමත් තෙල්, ගෑස්, භූමිතෙල් පෝලිම් හැදෙන සමාජයක් බවට පරිවර්තනය වෙනවා. ඒ නිසා දිගින් දිගටම අපි කියන්නෙ මේ වැරැදි වැඩේ කරන්න එපා කියලා. මේ බංකොලොත් වූ රට බොහොම අමාරුවෙන් රනිල් වික්‍රමසිංහ මහතා ගොඩ ගනිමින් තිබෙනවා.
ජනතා විමුක්ති පෙරමුණ ඉතිහාසය පුරා ආණ්ඩු පිහිටුවන්න, ආණ්ඩු පෙරළන්න උදව් කරපු කණ්ඩායමක්. 1970දී රෝහණ විජේවීර එදා මැතිනියට උදව් කළා. මැතිනි පත්වුණාට පසුව 71 කැරැල්ල ක්‍රියාත්මක කළා. ඒකෙන් විශාල තරුණ ජීවිත ප්‍රමාණයක් මේ රටේ විනාශ වුණා. ත්‍රිවිධ හමුදාවේ විශාල ප්‍රමාණයක් ජීවිතක්ෂයට පත් වුණා. රටේ මධ්‍යම පන්තිය නැති වුණා. අවසානයේ 76 වෙනකොට ජේ.ආර්. ජයවර්ධන මහතා සමඟ ජනතා විමුක්ති පෙරමුණ ගිවිසුමක් ඇති කරගත්තා, ජයග්‍රහණය කළොත් ජනතා විමුක්ති පෙරමුණට විරුද්ධව අපරාධ යුක්ති විනිශ්චය කොමිෂන් සභාවේ (CJC) තීරණ වෙනස් කරලා ඒ අය ඔක්කොටම නිදහස ලබා දෙනවා කියලා. යාපනයේ සිරගෙදර සිරගත වෙලා හිටපු රෝහණ විජේවීර, ජේ.ආර්. ජයවර්ධන මහත්මයා ජයග්‍රහණය කළ පසු දුන් පොරොන්දුව අනුව නිදහස් කළා. පසුව ආයෙමත් 83, 84 වෙනකොට ජවිපෙ රටේ කැරලි තත්ත්වයක් ඇති කරපු නිසා රට තුළ අරාජික තත්ත්වයක් ඇති වුණා.
87දී රණසිංහ ප්‍රේමදාස ජනපති බලයට ගේන්නත් යම්කිසි කාරණා ජනතා විමුක්ති පෙරමුණ අවබෝධයෙන් ඉටු කළා කියලා ඇතැම් අය කියනවා. ප්‍රේමදාස මහතා ජනාධිපති වෙලා ටික කාලයකින් ජීවිතක්ෂයට පත් වී විජේතුංග මහතා බලය ලබාගත්තම තහනම් කර තිබූ ජනතා විමුක්ති පෙරමුණ දේශපාලන ව්‍යාපාරය නිදහස් කළා. නැවත ඔවුනට ප්රජාතන්ත්රවාදයට එන්න පාර හදලා දුන්නා. 1994දී චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය සමඟ ජනතා විමුක්ති පෙරමුණ වැඩ කළා. එහි ප්‍රතිඵලයක් හැටියට පළවෙනි ජවිපෙ නියෝජිතයා ලෙස බුලේගොඩ මහත්මයා හම්බන්තොටින් පාර්ලිමේන්තුවට පැමිණියා. ඔහු අස්වුණු නිසා නිහාල් ගලප්පත්ති මහත්මයා පසුව පාර්ලිමේන්තුවට පැමිණියා. කෙසේ හෝ චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය සමඟ දෙවන වර ජනාධිපතිවරණයේදිත් නන්දන ගුණතිලක මහතා ජනාධිපති අපේක්ෂකයා හැටියට ඉදිරිපත් වෙලා, පසුව අපේක්ෂකත්වයෙන් ඉල්ලා අස්වී විධායක ජනාධිපති ධුරය අහෝසි කරනවා කියලා චන්ද්‍රිකා ජනාධිපතිනියට ජනතා විමුක්ති පෙරමුණ උදව් කළා. එතැනින් නැවතුණේ නෑ. මේ ව්‍යාපාරය තව ඉදිරියට ගියා. චන්ද්‍රිකාගෙන් පසුව මහින්ද රාජපක්ෂ දිනවන්න ගෙයින් ගෙට ගිහින් මහින්දට ඡන්දය දෙන්න කියලා ජවිපෙ කිවුවා. පසුකාලීනව මෛත්‍රීපාල සිරිසේන මහත්මයා දිනවන්න වැඩ කළා. ෆොන්සේකා මහත්තයා දිනවන්නත් වැඩ කළා.
එතකොට මේ සෑම අවස්ථාවකම ජවිපෙ මේ රටේ දේශපාලන ක්‍රියාවලියේ යෙදුණා. මහජන නියෝජිතයන් 38 දෙනකු පත් වුණා. ඔවුනට ලැබුණු ජාතික ලැයිස්තුවේ තනතුරු දෙකත් මහින්ද රාජපක්ෂ මහත්තයට පූජා කරලා පොහොට්ටුවෙන් මහජන නියෝජිතයන් දෙදෙනකු පාර්ලිමේන්තුවට ගෙන්වන්න තරම් සහයෝගයෙන් මහින්ද මහත්තයා සමඟ ඔවුන් ක්‍රියා කළා.
ඒ ආකාරයට තමයි ජනතා විමුක්ති පෙරමුණ මේ රටේ ක්‍රියා කරලා තියෙන්නෙ. එතකොට මේ රට බංකොලොත්භාවයට පත් කරන්න ජනතා විමුක්ති පෙරමුණ අංක 01ට වගකිව යුතු බව මතක තබා ගත යුතුයි. දැන් මේ සෙල්ලම නවත්වලා මේ රටට ජාතික ප්‍රතිපත්ති රාමුවක් හදාගෙන, ඒ ජාතික ප්‍රතිපත්තිවලට සියලු දෙනා සහ සියලු දේශපාලන පක්ෂ එකඟ වෙලා ඉදිරියට යා යුතුයි. හොරකම් ඉතිහාසය බැලුවොත් මේ පළාතේ පළවෙනි බැංකු මංකොල්ලය කැබිතිගොල්ලෑවේ සිද්ධ වෙන්නේ 1971 ජනතා විමුක්ති පෙරමුණෙන්. ඉන්පසුව බැංකු මංකොල්ලය සිද්ධ වෙන්නෙ ඇල්පිටියේ. ඉතින් බැංකු මංකොල්ල ඉතිහාසයක් ගැන ලංකා ඉතිහාසයේ දේශපාලන භූමිකාවේ සඳහන් වෙනවා. අපේ පළවෙනි ව්‍යායාමය වෙන්න ඕන රටේ මහජනතාව මිස දේශපාලන පක්ෂවල එක එක පුද්ගලයන්ගේ සිහින නොවේ.
එක්සත් ජාතික පක්ෂ උප නායක අකිල විරාජ් කාරියවසම් මහතා සම්මේලනයට එක්වෙමින් මෙසේ අදහස් දැක්වීය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා රට භාරගන්න අවස්ථාවේදී වෙනත් කිසිම කෙනකු මේ රට භාරගන්න ඉදිරිපත් වුණේ නෑ. හැමෝම බයේ හැංගුණා. රනිල් වික්‍රමසිංහ මහතා බය නැතිව මේ අභියෝගය භාරගත්තා. අවුරුද්දක් යන්නට මත්තෙන් රටේ තිබුණු දැවුණු ප්‍රශ්නවලට පිළිතුරු ලබා දුන්නා. දැන් ගිනිදැල් අවසානයි. නිසි මාර්ගයේ රට ගෙන යනවා.
මේ පැත්තේ සිටින ගොවි මහතුන්ට විශාල ප්‍රශ්නයක් වුණු පොහොර ප්‍රශ්නයට ජනපති විසඳුම් ලබා දුන්නා. දැන් නැවත අපේ ගොවි මහත්වරු තමන්ගේ වැඩ කොටස ඉටු කරනවා. රට තුළ තව ප්‍රශ්න තිබෙනවා. රනිල් වික්‍රමසිංහ මහතා නියත වශයෙන්ම මේ ගැටලු විසඳනවා.
එහිදී එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා අදහස් දැක්වූයේ මෙලෙසයි.
අද ජනතා විමුක්ති පෙරමුණ අලුත් කතා කියනවා. නමුත් රටේ ජනතාවට අතීතය අමතක නැහැ. බලයක් නොමැති කාලේ ඔවුන් කළ මිනීමැරුම් අපේ රටේ ජනතාවට මතකයි. බලයක් නැතිව ඔවුන් එසේ හැසිරුණා නම්, බලයත් ලැබුණම ඔවුන් කොහොම හැසිරෙයිද කියලා ඔබ සිතා බැලිය යුතුයි. එදා රට වැටුණු වෙලාවේ හැංගුණ අය දැන් එළියට ඇවිත් වීරයෝ වගේ කෑගහන්නේ රනිල් වික්‍රමසිංහ මැතිතුමා මේ රට ආගාධයෙන් ගොඩගත්ත නිසයි. මේ සුරංගනා කතාවලට ඔබව තවදුරටත් රැවටිය නොහැකියි. යථාර්ථය තේරුම් අරගෙන ඉදිරියට යා යුතුයි. අපි සියලුදෙනාම එකතු වී රනිල් වික්‍රමසිංහ මහතාට සහයෝගය ලබා දුන්නොත් මේ රට දියුණු රටක් බවට පත් කළ හැකියි.
ජනාධිපති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ උපදේශක ආශූබෝධ මාරසිංහ මහතා සම්මේලනයේදී අදහස් පළ කළේ මේ ආකාරයෙනි.
2022දී මේ රටේ තිබුණේ සෘණ ආර්ථිකයක්. දැන් තියෙන්නේ ධන ආර්ථිකයක්. එය එසේ පරිවර්තනය කිරීමට හැකි වුණේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිගේ ආර්ථික වැඩපිළිවෙළ නිසයි. සමහර දේශපාලන පක්ෂවල නායකයන් කියනවා අපිටත් බලය දීලා බලන්නලු. බලය නොමැති කාලයේ මේ අය රට වෙනුවෙන් කළ දේවල් සිහිපත් කරගන්න කියලා මම ඔබට මේ අවස්ථාවේදී කියනවා. ලංකාවේ සිටි උගතුන් වියතුන් සියලු දෙනාව මේ අය ඝාතනය කළා. රටේ මධ්‍යම පන්තිය විනාශ කළා. රටේ ආර්ථිකය කඩා වැට්ටුවා. මෙහෙම පිරිසක් තමයි අද බලය ඉල්ලන්නේ.
ශිරෝමි අබයසිංහ