කුකුළාගේ අයිතිකරුට 15000ක අලාභයක් ගෙවන්නත් නියෝග
වාහල්කඩ ඩී. එක ප්‍රදේශයේ කුකුළු කූඩුවකින් ගම් කුකුළෙකු සොරකම් කර රැගෙන යමින් සිටියදී ළිඳකට වැටුණු පසුව ගම්මුන් විසින් ගොඩ ගෙන වාහාල්කඩ පොලිසියට බාර දීමෙන් අනතුරුව වාහාල්කඩ පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් කර සිටි සැකකරු එකී චෝදනාවට වරද පිළිගැනීමෙන් පසුව ඔහුට මාස හයක සිරදඬුවමක් නියම කළ කැබිතිගොල්ලෑව මහේස්ත්‍රාත් කසුන් දසනායක මහතා එම සිරදඬුවම වසර පහකට අත්හිටුවීමට නියෝග කළේය.
කුකුළාගේ අයිතිකරුට මුදලින් රුපියල් 15000ක අලාභයක් ගෙවන ලෙසටද සැකකරුට නියෝග කෙරිණ. මෙසේ දඬුවම් නියම වූයේ වාහාල්කඩ ඩී. එක ලිපිනයේ පදිංචි එම්. සිසිර කුමාර නොහාත් ගිනි කුමාර නමැත්තකුටය. මෙම සැකකරු අධිකරණයට ඉදිරිපත් කරමින් වාහාල්කඩ පොලිසිය සිය මූලික කරුණු දැක්වීම්වලදී කියා සිටියේ වාහාල්කඩ ඩී. එක ප්‍රදේශයේ පදිංචි කේ. උපුල් කුමාර කරුණාරත්න නමැති ගොවියකුට අයත් ගම් කුකුළන් සහිත කුකුළු කූඩුවෙන් නිතර නිතර ගම් කුකුළන් සොරාගැනීමේ සිද්ධීන් අදාළ කුකුළු කූඩුවේ හිමිකරුට වාර්තාවී ඇති බවයි. මෙම සැකකරු අදාළ ගම් කුකුළු කූඩුවෙන් කුකුළෙකු සොරකම් කර රැගෙන යමින් සිටියදී සොරා ගන්නා ලඳ ගම් කුකුළාද සමඟ අසල තිබූ ළිඳකට වැටී ඇති බවද අධිකරණයට දැනුම් දුන් පොලිසිය පසුව ගම්මුන් පැමිණ සැකකරු සමඟ සොරකම් කරන ලද ගම් කුකුළාද ළිඳෙන් ගොඩ ගෙන ඒ බව පොලිසියට දැනුම් දුන් බවත් කීවේය. සැකකරු සමඟ ළිඳෙන් ගොඩ ගත් ගම් කුකුළා ඒ වන විටත් ළිඳේ ගිලීමෙන් මිය ගොස් සිට ඇති බවද පොලිසිය සඳහන් කළේය.
වාහාල්කඩ පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ආර්.ජී.එම්.ටී. හරිශ්චන්ද්‍ර මහතාගේ උපදෙස් මත සැරයන්වරුන් වන (21504) ධම්මික සහ (40063) ඉලංගසිංහ යන මහත්වරුන් පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටියේය.
අනුරාධපුර – උපාලි ආනන්ද